ගර්භිණී සමයේදී එන්නත් ගැනීම දරුවාට ආරක්ෂාවක්


කොවිඩ්-19 වෛරසයට එරෙහිව ගර්භිණී කාන්තාවන්ට එන්නත් කිරීම ඔවුන්ගේ ළදරුවන් තුළ කොවිඩ්-19 රෝහල්ගත වීම වැළැක්වීමට උපකාරී වී ඇති බව එක්සත් ජනපදයේ පර්යේෂණයකින් අනාවරණය වෙයි.

ගර්භිණී සමයේදී එන්නත ලබාදීමේ ප්‍රතිලාභ එන්නත් ලබා ගැනීමට තරම් ළාබාල වියේ පසුවන ළදරුවන්ටද පිටිවහලක් වී ඇති බව මෙම පර්යේෂණය මගින් සොයාගැනීමට හැකිවී ඇත.

ළමා රෝහල් කිහිපයක පර්යේෂකයන් සහ එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) 2021 ජූලි සහ 2022 ජනවාරි අතර මාස හයකට අඩු දරුවන් දෙස බලමින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

මෙම අධ්‍යයනයෙන් රෝහල් ගත කළ ළදරුවන් 379ක්, කොවිඩ්-19 සහිත 176ක් සහ වෙනත් ගැටලු සඳහා ඇතුළත් කර ගත් 203ක් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර තිබේ. ගර්භිණී සමයේදී එන්නත් කරන ලද මව්වරුන්ගේ දරුවන් රෝහල්ගත වීම වැළැක්වීම සඳහා කොවිඩ්-19 එන්නත් සමස්තයක් ලෙස 61%ක ඵලදායී බව සොයාගෙන ඇත.

දරු ප්‍රසූතියට පෙර සති 21 සිට දින 14 දක්වා මව්වරුන්ට එන්නත් කළ විට එම ආරක්ෂාව 80%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගර්භිණී සමය ආරම්භයේදී එන්නත් කළ මව්වරුන්ගේ ළදරුවන් සඳහා එන්නතේ කාර්යක්ෂමතාව 32%ක් පමණ බව කියයි.

ගර්භිණී කාන්තාවන් කොවිඩ්-19 නිසා දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානම වැඩි වන අතර, ගර්භිණී සමයේදී කොවිඩ්-19 ආසාදනය වී තිබීම නොමේරූ උපත්, මළ දරු උපත් සහ සමහර විට වෙනත් ගර්භිණී සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව CDC පවසයි.

CDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.



Recommended Articles