ඉන්දියාවේ ධනවත්ම නගරය වන මුම්බායි හි රෝහල් නව කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, වෛද්‍යවරුන් විජලනයට පත්ව ඇදැ වැටෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ මූල්‍ය හා විනෝදාස්වාදී නගරය ලෙස සැලකෙන මුම්බායි ජාත්‍යන්තර ව්‍යාපාරවල නිජබිමද වෙයි. එමෙන්ම බොලිවුඩයේ උත්කර්ෂවත් ලෝකය ලෙසද මුම්බායි සැලකෙයි.
කෙසේවෙතත් අධික ජනගහනයක් වෙසෙන මුම්බායි යනු රටේ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක්ද වන බැවින්, මේ වනවිට මුම්බායි හි පවතින්නේ කොවිඩ්-19 වෛරසය පාලනයෙන් ගිලිහී ගිය ස්වරූපයක් බව විශේෂඥයෝ අනතුරු අඟවති.
නගරය තුළ පමණක් ආසාදිතයන් 50,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යවෙන් පහෙන් එකක් පමණ වෙයි. එමෙන්ම වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ වුහාන්ට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවකි. මුම්බායි අයත් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය මේ වනවිට සමස්ත චීනයෙන්ම වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් තහවුරු කර තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (12දා) අලුයම වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 8,102කි. එමෙන්ම එරට තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිත අගය 286,605කි.
රජයේ නයාර් රෝහලේදී වෛද්‍යවරුන් වෙහෙස හා විජලනයෙන් ඇද වැටී ඇති බව එම රෝහලේ නේවාසික වෛද්‍යවරයෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසයි.