කොවිඩ් සමග දේශපාලනය කිරීම නතර කරන්න - චීනය


කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ දෙවැනි අදියර විමර්ශනයක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජනාව පිළිබඳව යුරෝපා සංගමය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ තවත් රටවල් කිහිපයක නිලධාරීන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ චීන දූත මණ්ඩල ප්‍රකාශක ප්‍රතිචාර දක්වා තිබේ.

වෛරසයන් මානව වර්ගයාගේ පොදු සතුරෙකු ලෙස චීනය විශ්වාස කරන බවත්, වසංගතයේ මූලාරම්භය සොයා ගැනීම වැදගත් හා සංකීර්ණ විද්‍යාත්මක කාරණයක් වන අතර එය ලොව පුරා සිටින විද්‍යාඥයන්ගේ සහයෝගය මෙන්ම රජයන් සහ සියලු රටවල ජනතාවගේ ඒකාබද්ධ උත්සාහය සහ සහයෝගය ඇතුළු සිදුකළ යුත්තක් බව චීනය කියයි.

නමුදු වසංගතය භාවිත කරමින් වෙනත් රටවල් අපකීර්තියට පත් කිරීම සහ මූලාරම්භය සොයා ගැනීමේ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම මගින් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අතෘප්තිය හා ප්‍රබල විරෝධය අවුලුවනු ඇති බවත් එය කිසිවිටෙකත් සාර්ථක උපාය මාර්ගයක් නොවන බවත් ප්‍රකාශකයා අවධාරණය කළේය.

චීනය සැමවිටම විවෘත ආකල්පයක් සහිතව ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව වසංගතයේ සම්භවය සොයා ගැනීමේ සහයෝගීතාවයට සහභාගී වී ඇති බවත්, පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ට සම්භවය සොයා ගැනීම පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම සඳහා දෙවරක්ම චීනයට ආරාධනා කරමින් මේ සඳහා විශාල උත්සාහයක් දරා ඇති බව සඳහන් කළේය. මේ වසරේ ජනවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥයන් සහ චීන විශේෂඥයන් ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවා දින 28ක් චීනයේ ඒකාබද්ධ පර්යේෂණ සිදුකළ බවද හෙතෙම සිහිපත් කළේය.

ඒ අනුව පසුගිය මාර්තු 30 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධ වාර්තාවක් නිකුත් කළ අතර, එය නිගමනවලට එලැඹෙමින්, ඊළඟ අදියරේදී ගෝලීය සම්භවය අධ්‍යයනය සඳහා විද්‍යාව පදනම් කරගත් නිර්දේශ ලබා දුන්නේය.

මෙහිදී රටවල් 60කට ආසන්න සංඛ්‍යාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපි යවා ඇති අතර, එහි පළමු වැනි අදියර සොයා ගැනීමේ පර්යේෂණයේ ප්‍රතිඵල සමග එකඟ වෙමින් මූලාරම්භය අධ්‍යයනය දේශපාලනීකරණය කිරීමට දරන උත්සාහයට විරුද්ධ වූ බවද චීන ප්‍රකාශකයා අවධාරණය කළේය. චීනය යළි යළිත් විශ්වාස කරන්නේ මූලාරම්භය සෙවීම සඳහා අපකීර්තියට වඩා සහයෝගය, බොරුවට වඩා සත්‍යය, දේශපාලන උපාමාරු වලට වඩා විද්‍යාවට ගරු කිරීම අවශ්‍ය බව යැයිද හෙතෙම පවසා සිටියේය.

විවෘතභාවය, විනිවිදභාවය, විද්‍යාව සහ සහයෝගීතාවය තුළ කොවිඩ්-19 වසංගතයේ ගෝලීය සම්භවය සොයා ගැනීමේ සහයෝගීතාවට චීනය අඛණ්ඩව සහයෝගය දක්වමින් සහභාගී වනු ඇති බව යුරෝපා සංගමයේ චීන දූත මණ්ඩල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles