කොවිඩ් සටනේ ඉක්මන් ජය හෝ සටන අත්හැරීම මෝඩයි


කොවිඩ්-19 වෛරසයට එරෙහි ජයග්‍රහණ කලින් හෝ අකාලයේ ප්‍රකාශ කිරීමට හෝ වෛරසය සම්ප්‍රේෂණය කිරීම නැවැත්වීමේ උත්සාහයන් අත්හැරීම මෝඩ ක්‍රියාවක් බවත්, ඊට එරෙහිව සියලු දෙනා නැගී සිටිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රයේසුස් ලෝක ප්‍රජාවට අනතුරු ඇඟවීය.

"ඕනෑම රටක් කොවිඩ්-19 සටන අත්හැරීම හෝ අකාලයේ ජයග්‍රහණය ප්‍රකාශ කිරීම නුවණැති ක්‍රියාවක් නොවෙයි" ගෙබ්‍රයේසුස් පැවසුවේ වෛරසය භයානක හා නිරන්තරයෙන් පරිණාමය වෙමින් පවතින එකක් බවයි.

"සමහර රටවල එන්නත් නිසා සහ ඔමික්‍රෝන් හි ඉහළ සම්ප්‍රේෂණය සහ අවම බරපතළකම නිසා සම්ප්‍රේෂණය වැලැක්වීම තවදුරටත් කළ නොහැකි හෝ එය තවදුරටත් අවශ්‍ය නොවන බවට උපකල්පනයන්ට පැමිණීම ගැන ලෝක සෞඛය සංවිධානය ලෙස අපගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. මොකද සත්‍යයෙන් ඔබ්බට ඔබට කිසිවක් කළ නොහැකි බව අවධාරණය කළ යුතුයි." හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් බලධාරීන් විසින් වාර්තා කර තිබියදීත්, ගෝලීය සෞඛ්‍ය ඒජන්සි ප්‍රධානියාගේ අනතුරු ඇඟවීම පැමිණියේ ඩෙන්මාර්කය විසින් සියලුම ගෘහස්ථ කොවිඩ්-19 සීමාවන් ඉවත් කිරීමෙන් පසුවය.

යුරෝපා සංගමයේ එවැනි තීරණයක් ගනු ලැබූ පළමු රට බවට ඩෙන්මාර්කය පත්ව ඇති අතර, ජනතාවගෙන් ලැබෙන විරෝධී ආකල්ප හමුවේ ඩෙන්මාර්කය මෙම තීරණයට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

"අපි කිසිම රටකට ඊනියා අගුලු දැමීමකට ආපසු යන ලෙස ඉල්ලා සිටින්නේ නැහැ. අපි සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ එන්නත් පමණක් නොවෙයි, දැනට ඇති මෙවලම් කට්ටලයේ ඇති සෑම මෙවලමක්ම භාවිත කරමින් තම ජනතාව ආරක්ෂා කරන ලෙසයි."

සැලකිය යුතු වෙනස්වීම්වලට භාජනය වීමක් පෙන්නුම් කර ඇති වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා අඛණ්ඩ පරීක්ෂණ, නිරීක්ෂණ සහ ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය බව ගෙබ්‍රයේසුස් වැඩිදුරටත් පැවසීය.

"මෙම වෛරසය කරන්නේ කුමක්දැයි අප නොදන්නේ නම්, අපට මෙම වෛරසය සමග සටන් කර කිසිදා ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වේවි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.



Recommended Articles