කොවිඩ් මරණ ගැන WHO සිදුකළ නවතම හෙළිදරව්ව


2021 අවසානය වනවිට ගෝලීය වශයෙන් මිලියන 15කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සෘජුව හෝ වක්‍රව මරණයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනාවරණය කරයි.

එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත ආයතනය පැවසුවේ 2020 ජනවාරි 1 සිට 2021 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සම්පූර්ණ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව හෝ ලෝකයේ වාර්තා වී ඇති අතිරික්ත මරණ සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 14.9ක් වූ බවයි.

මෙම අගය ගණනය කරනු ලබන්නේ පෙර වසරවල දත්ත මත පදනම්ව සිදු වූ මරණ සංඛ්‍යාව සහ වසංගතය නොමැති විට අපේක්ෂා කළ හැකි සංඛ්‍යාව අතර වෙනස ලෙසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අතිරික්ත මරණවලින් වැඩි ප්‍රමාණයක්, එනම් 84%ක් අග්නිදිග ආසියාව, යුරෝපය සහ ඇමෙරිකාවේ පවතින අතර, 68%ක් ගෝලීය වශයෙන් රටවල් 10කට කේන්ද්‍රගත වී ඇත.

මේ අතර, අතිරික්ත මරණ මිලියන 14.9න් 81%ක්ම මධ්‍යම ආදායම් ලබන රටවල්වලින් වාර්තා වන අතර, ඉහළ සහ අඩු ආදායම් ලබන රටවල් පිළිවෙලින් 15%ක් සහ 4%ක් වාර්තා වෙයි.

ගෝලීය අතිරික්ත මරණ සංඛ්‍යාව සැලකීමේදී පිරිමි මරණ වැඩිවූ අතර, එය 57%කි. එමෙන්ම කාන්තා මරණ 43%කි. කෙසේ වෙතත්, වැඩිහිටි මරණ මේ අතර වැඩි බවද පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ඒජන්සියට අනුව වක්‍රාකාරයෙන් සිදුව ඇති මරණ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන්ටද ආරෝපණය කළ හැකි අතර, සෞඛ්‍ය පද්ධතිය කොවිඩ්-19 නිසා ඉක්මවා යාමෙන් මිනිසුන්ට රෝගාබාධයන් වැළැක්වීම හෝ ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීමට නොහැකි වීමද ඊට හේතු වී ඇත.



Recommended Articles