කොවිඩ් බලපත්‍රය නැත්නම් බාර්, අවන්හල් දොර වැසේ


ප්‍රංශ රජයේ කොවිඩ්-19 සෞඛ්‍ය බලපත්‍රය එරට බාර්, අවන්හල්, දුම්රිය, රෝහල් සහ සත්කාරක නිවාසවල බලාත්මක වීම අද (09) සිට සිදුකර තිබේ.

එහි තේරුම නම් අවන්හල් සහ බාර් වෙත ඇතුළු වන සියලුම පාරිභෝගිකයන්, දුම්රියෙන් යන සංචාරකයන් හෝ රෝහල් වෙත හදිසි සංචාරයක යෙදෙන පුද්ගලයන්, ඒ ස්ථාන වෙත ප්‍රවේශ වීමට පෙර සිය සෞඛ්‍ය බලපත්‍රය පෙන්විය යුතු වීමය.

මෙම පියවර එරට ඇතැම් පිරිස් විසින් විවේචනය කර තිබුණු අතර, සති ගණන් විරෝධතාවලටද තුඩුදෙන ලදී. පසුගිය සෙනසුරාදා ප්‍රංශය පුරා මීට විරුද්ධව උද්ඝෝෂණයක්ද සිදුවිය.

නමුත් මෙම විරෝධතා නොතකා ප්‍රංශ බලධාරීන් විසින් මෙම නීතිය ක්‍රියාවට නංවා ඇති අතර, ඔවුන් අගෝස්තු මාසයේදී පමණක් මේ දක්වා එන්නත් මිලියන 3.8කට වඩා ලබා දී තිබේ.

සෞඛ්‍ය බලපත්‍ර ප්‍රතිපත්තිය පසුගිය මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙනෙට් සභිකයින් විසින් අනුමත කරන ලද අතර, අගෝස්තු 5 වැනි දින ප්‍රංශ ව්‍යවස්ථාදායක සභාවෙන් අවසන් අත්සන් ලබා ගන්නා ලදී.

ඔබට සම්පුර්ණයෙන්ම එන්නත ලබා දී ඇති බවට හෝ මෑතකදී සෘණාත්මක PCR පරීක්‍ෂණයක් සිදුකර හෝ මෑතකදී කොවිඩ්-19 වැලඳී ඇති බවට හෝ ඒ වන විටත් පූර්ණ සුවය ලබා ඇති බවට සාක්ෂි ඔබ සතුව තිබේ දැයි යන විස්තර එම බලපත්‍රයේ අඩංගු වෙයි. එය රජයේ නිරීක්ෂණයට ලක්වන ජංගම යෙදුමක් සමග කඩදාසි ආකාරයෙන් හෝ ඔබේ දුරකථනයේ QR කේතයක් මගින් පෙන්විය හැකිය.

කෞතුකාගාර, සිනමා ශාලා සහ පිහිනුම් තටාක වැනි සංස්කෘතික හා ක්‍රීඩාංගණ සඳහා පසුගිය ජූලි 21දා සිටම මෙම නියෝගය මගින් සෞඛ්‍ය බලපත්‍රය ගෙන එන ලදී. එමෙන්ම අගෝස්තු 30දා සිට ආගන්තුක සත්කාර කාර්ය මණ්ඩලය සහ දුම්රිය කාර්ය මණ්ඩලයද මෙම බලපත්‍ර භාවිතය ආරම්භ කළ යුතු අතර, සැප්තැම්බර් 15දා සිට වෛද්‍ය සේවකයන්ටද එම බලපත්‍රය අදාල වන බව ප්‍රංශ රජය පවසයි.

මෙම බලපත්‍ර ක්‍රමය කොපමණ කාලයක් බලපැවැත්විය හැකිද යන්න පිළිබඳව රජය කාල රාමුවක් සකස් කර නැත. ප්‍රංශය කොවිඩ්-19 වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය සමග මුහුණදී සිටින ආසාදිතයන්ගේ වැඩිවීම හමුවේ මෙම පියවර ගෙන ඇත්තේ, තවමත් එන්නත් ලබාගැනීමට මැලිකමක් දක්වන පිරිස් ඒ වෙත උනන්දු කරවා ගැනීමේද අදහසිනි.



Recommended Articles