කොවිඩ් නිසා 9-11 ප්‍රහාරයේ ආලෝක උපහාරයත් නවතී


2001 සැප්තැම්බර් 11 වැනි ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව කරමින් පැවැත්වෙන නිව්යෝක් නගරයේ 'ආලෝකයේ උපහාරය' නව කොරෝනා වසංගතය හමුවේ අවලංගු කළ බව 9/11 අනුස්මරණ හා කෞතුකාගාරය නිවේදනය කළේය.

"වසංගතයේ සෞඛ්‍ය අවදානම නිගමනය කිරීමෙන් පසු අපගේ හවුල්කරුවන් සමග සාකච්ඡා කර මෙම ඇදහිය නොහැකි තරම් දුෂ්කර තීරණයට අප එලැඹුණා. මන්දයත් මේ ආලෝකයේ වාර්ෂික උපහාරය සම්පාදනය කිරීමට විශාල කාර්ය මණ්ඩලයක් අපට අවශ්‍ය වන අතර, මේ අවස්ථාවේදී එය අවදානම් සහගතයි." එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. "ප්‍රහාරයේ 20 වැනි සිහිපත් කිරීම සිදුවන 2021 දී මෙම සුවිශේෂී උපහාරය නැවත ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

ලෝක වෙළඳ මධ්‍යස්ථාන භූමිය අසල නිවුන් කුලුනුවල හැඩයට සමාන වන අහස දෙසට සැතපුම් 4 ක් (කිලෝමීටර 6.4 ක්) ළඟා වන දැවැන්ත විදුලි පහන් 88කින් සමන්විත නිල් ආලෝක කදම්බ දෙකක් මෙම අනුස්මරණයේදී දක්නට ලැබෙයි.



Recommended Articles