"මේ සියල්ල වෛරසයේ සැබෑ තත්ත්වය යටපත් කරන දේවල්. මා අදහස් කළේ, රූපවාහිනියේ මේ පිළිබඳ අදහස් දක්වන අය අතර අප දකින්නේ මේ වෛරසයෙන් මුළුමනින්ම පීඩාවට පත්වූ අය නොවෙයි. ඇත්තටම ඔබ රූපවාහිනියෙන් දකින රෝහල්ගතව සිටි අය වුවත් ඔවුන් මේ වෛරසයේ සැබෑ මුහුණුවර නොවෙයි. සත්‍ය තත්ත්වය නම් දැඩිසත්කාර ඒකකවල භයානක අත්දැකීමයි. ඔවුන් ඔක්සිජන් බඩගින්නකින් පෙළෙන පිරිසක්. හුස්ම ගැනීමට නොහැකිව ව්‍යාකූලත්වයට පත්වූ පිරිසක්. ජීවිතයත් මරණයත් අතර ජීවිතය යදින පිරිසක්. අපට ඒ සිදුවීම් කිසි විටෙකත් ඔබට පෙන්විය නොහැකියි. එය සැබවින්ම ඉතාම භයංකාරයි."
නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් හා මරණ පිළිබඳ දිනපතා වාර්තා, ඒ වෙනුවෙන් වූ පරීක්ෂණ ආදී වශයෙන් ධවල මන්දිරයේදී ඇමෙරිකානු නායකයා පවසන තත්ත්ව විස්තරය, කොවිඩ්-19 වෛරස ව්‍යසනයේ සැබෑ මුහුණුවර නොවන බව ඔරිගන් සෞඛ්‍ය හා විද්‍යා විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය, දැඩිසත්කාර වෛද්‍ය සහ සෞඛ්‍ය උපදේශිකා ඒස්තර් චූ පවසයි.
මෙම අදෘශ්‍යමාන යක්ෂයා සමග දැඩි සත්කාර ඒකක තුළ සිදුවෙන සටන, නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අප රූපවාහිනියේ දකින තත්ත්වය නොවන බව ඇගේ අදහසයි. ඒ අනුව නව කොරෝනා වෛරස සටනේ ඉදිරි පෙළ අපට කිසිසේත්ම දැකගැනීමට අවස්ථාවක් නොලැබේ. මේ වෛරසයට ගොදුරු වූවන් විඳින දුක්ගැහැටවල සම්පූර්ණ සිදුවීම අප ඇස නොගැටෙයි. අපට මේ සටන ගැන අසන්නට ලැබෙන්නේ වෛද්‍යවරුන් සහ හෙදියන් පවසන සාමාන්‍ය විස්තර කිරීම් හරහා පමණි. එසේ නැත්නම් ආණ්ඩුකාරවරුන් හෝ නගරාධිපතිවරුන් පවසන දේ හෝ ස්කයිප් තාක්ෂණය හරහා සාමාන්‍ය රෝගීන් සමග සිදුකරන සාකච්ඡා හරහා පමණකැයි වෛද්‍ය ඒස්තර් තවදුරටත් සඳහන් කරයි.
මෙය කොවිඩ්-19 වෛසරයේ භයානක බව සම්බන්ධයෙන් මහජනතාවගේ අවබෝධය විකෘති කරන තත්ත්වයක් විය හැකිය. එමෙන්ම මේ වෛරසයේ බරපතළ බව ඇතැමෙකුට හරිහැටි අවබෝධ කරගැනීමට මේ සෑබෑ සිදුවීම් හෙවත් ඉදිරිපෙළ දසුන් දැකගත නොහැකි වීමද ගැටලුවක් විය හැකිය.
නමුත් ඒවා සැබෑලෙස ජනතාවට පෙන්වීමට අවස්ථාවක් නොවූ තැන, ජනතාව නිවෙස් තුළ රඳවා ගැනීම තවදුරටත් උනන්දු කරවන විශේෂ හෑෂ්ටැගයක් ප්‍රථම වරට නිර්මාණය කළ වෛද්‍ය ඒස්තර් චූ, කොවිඩ්-19 වෛරසයේ සැබෑ ස්වරූපය ඇමෙරිකානු ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කරමින් සිටියි. ඇය වැඩිදුරටත් පවසන්නේ,
"අප බොහෝවිට සොම්බි ගැන වචනයෙන් බොහෝ දේ විස්තර කරනවා. නමුත් ඒවා කිසිවිටෙකත් සැබෑවට අපට පෙන්විය නොහැකියි. එසේ වුවත් යම් ලෙසක මේ සොම්බි එළිදරව් වීම කෙබඳු වනු ඇතිද? මා පවසන්නේ එපමණයි."
යථාර්ථය සලකා බැලීමේදී රෝහල් කොරිඩෝවක කැමරාවක් අමෝරාගෙන යෑමට යම් සීමා පවතී. එමෙන්ම මෙවැනි සිදුවීම් රූගත කිරීමේදී මාධ්‍ය ආචාර ධර්මයන්ද පවතී. එබැවින් මෙවැනි මහා ව්‍යසනයකදී වාර්තාකරුවන්ටද නිර්මාණශීලී වීමේදී දැඩි අභියෝගයකට මුහුණදීමට සිදුවීම සාධාරණය. සිදුවිය යුත්තේ සියලු ජනී ජනයා වඩා වඩාත් ආරක්ෂාකාරී වීමය. සමාජ දුරස්ථභාවය රැකීමය. මේ වෛරසය පරාජය කිරීමට තනි තනිව තම වගකීම ඉටුකිරීමය.