කොවිඩ් තුන්වැනි මාත්‍රාවක් ලබාදීම ගැන තීරණයක් නෑ


දැනටමත් එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති නිවැසියන් අතර තුන්වැනි කොවිඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාව එක්සත් ජනපදය සමාලෝචනය කරමින් සිටින නමුත්, තවත් අතිරේක මාත්‍රාවකින් මිනිසුන් තුළ බරපතල අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉහළ නැංවිය හැකිදැයි දැන ගැනීමට වැඩි දත්ත ප්‍රමාණයක් අවශ්‍ය බව එක්සත් ජනපද සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කරයි.

මන්දයත් දැනටමත් කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ඉතා සුළු පිරිසක් වෙත යම් යම් අතුරු ආබාධ පවතින අවස්ථාවක, තවත් තෙවැනි බූස්ටර් මාත්‍රාවක් ලබාදීමෙන් වඩා විශාල අවදානම් සහිත විය හැකි බවට ඔවුන් යෝජනා කරයි.

"තුන්වැනි මාත්‍රාවක් අහිතකර ප්‍රතික්‍රියා ඇතිවීමේ වැඩි අවදානමක් සමග සම්බන්ධ විය හැකිද නැද්ද යන්න දැන ගැනීමට අපි උනන්දු වෙනවා. විශේෂයෙන්ම ඉතා දුර්ලභ වුවද, සමහර දරුණු අතුරු ආබාධ තෙවැනි මාත්‍රාවක් ලබාදීමේදී ඇතිවිය හැකියි" එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ බට්ලර් පැවසීය.

එක්සත් ජනපද රජය බූස්ටර් මාත්‍රාවක් ලබාදිය යුතුද යන්න පිළිබඳව තීරණයක් ගෙන නොමැති නමුත්, නව වෛරස ප්‍රභේද සමග වැඩිහිටියන් හා අනෙකුත් කණ්ඩායම් අතර කොවිඩ් ආසාදනයක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව ඔවුන් දකින බව බට්ලර් පැවසීය.

එන්නත් කිරීමෙන් මාස හයකට පසු ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවට සාක්ෂි සහ වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම පිළිබඳ සාක්ෂි මත පදනම්ව, ෆයිසර් සහ හවුල්කාර බයෝටෙක් විසින් එහි කොවිඩ්-19 එන්නතෙහි බූස්ටර් මාත්‍රාවක් අනුමත කිරීමට ඔවුන් එක්සත් ජනපද නියාමකයන්ගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කරද්දී එරට සෞඛ්‍ය බලධාරීන් මෙම නිවේදනය කළේය.

එහිදී දෙසැම්බර් හෝ ජනවාරි මාසවලදී එන්නත් විදගත් එක්සත් ජනපදවාසීන් අතර කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය අඩුවී ඇති බවට කිසිදු සාක්ෂියක් තමන් දැක නොමැති බවද බට්ලර් පැවසීය.

එසේම ඉන්දියාවේදී ප්‍රථම වරට සොයාගත් සහ මේ වනවිට ඇමෙරිකාවේද ප්‍රමුඛතම වෛරස ප්‍රභේදය බවට පත්ව ඇති කොවිඩ්-19 හි ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව දැනට පවතින එන්නත්වලින් සැලකිය යුතු ආරක්ෂාවක් සපයන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.



Recommended Articles