කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඵලදායි ප්‍රතිකාර සොයා ගැනීම සඳහා ගෝලීය සහයෝගිතා සායනික අත්හදා බැලීම්වල නවතම අදියරේදී නව ඖෂධ තුනක් පරීක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (11දා) නිවේදනය කළේය.
සහයෝගීතා ප්ලස් වැඩසටහන යටතේ රටවල් 52ක රෝහල් ගතකර ඇති කොවිඩ්-19 ආසාදිතයන් සඳහා මෙම ඖෂධ වර්ගයන් පරීක්ෂා කෙරෙන බව සඳහන් වෙයි.
ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 204.28 සීමාව ඉක්මවා, ආසාදිත මරණ මිලියන 4.31 සීමාව පසුකර යමින් සිටින අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිදානය මෙම නිවේදනය නිකුත් කර තිබේ.
"කොවිඩ්-19 පාලනය කිරීම සඳහා අවශ්‍ය එන්නත් ඇතුළු ප්‍රතිකාර විධි සමග අප සතුව දැනටමත් බොහෝ මෙවලම් තිබෙනවා. නමුත් සායනික වර්ණාවලියේ සෑම අන්තයකම සිටින රෝගීන් සඳහා මෘදු සිට දරුණු රෝගී තත්ත්වයන් දක්වා අපට තවත් බොහෝ මෙවලම් අවශ්‍යයි." ජිනීවාහි පැවති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් පැවසීය.
කොවිඩ්-19 සඳහා රෝහල් ගත වූ පුද්ගලයන්ගේ මරණ අවදානම අවම කිරීමේ හැකියාව සඳහා ස්වාධීන මණ්ඩලයකින් මෙම ඖෂධ තුන තෝරා ගෙන ඇත. එම ඖෂධයන් වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා දැනටමත් භාවිත කෙරෙන ඒවා බවද කියයි.