කොවිඩ් එන්නතක් ලබාගත හැකිවීම 2020 අවසානයේදී හෝ ලබන වසරේ මුලදීලු


කොවිඩ්-19 එන්නතක් 2020 අවසානයේදී හෝ ලබන වසර මුලදී ලබාගත හැකි වනු ඇති බව එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන (FDA) කොමසාරිස් වෛද්‍ය ස්ටීවන් හාන් පවසයි.

මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මහජන සෞඛ්‍ය පුරුදුවලට හුරුවීම ඇතුළු බොහෝදේ මගින් වෛරසය පාලනය කිරීමට හැකි වුවද, වෛරසය තුරන් කිරීම සඳහා ලොව පුරා බොහෝ රාජ්‍යයන් වඩාත් ඵලදායී එන්නතක් ලැබෙන තුරු ඇඟිලි ගනිමින් සිටියි.

"වෙනම එන්නත් හතරක් සඳහා සායනික අත්හදා බැලීම් කිරීමට FDA විසින් අවසර ලබාදී තිබෙනවා. එන්නත් සංවර්ධකයන් ගණනාවක් ඉදිරියට එන බව අපට දැකගැනීමට පුළුවන්. ඒ නිසා අපට විවිධ එන්නත් රැසක් පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට පුළුවන්."

"මෙම එන්නත්වලින් දෙකක් මේ වනවිට සායනික අත්හදා බැලීම්වල අවසාන අදියරේ පසුවන අතර, ඒවා විශාල සායනික අත්හදා බැලීම් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ නිසා වසර අවසාන වන විට හෝ ලබන වසර මුලදී එන්නතක් ලබාගැනීම අපගේ ඉලක්කයයි. ඒ ගැන සුපරීක්ෂාකාරීව හා සුබවාදීව මා සිටිනවා. කෙසේ වෙතත් එය රඳා පවතින්නේ සායනික අත්හදා බැලීම්වලින් ජනනය වන දත්ත මතයි." කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී FDA හි කාර්යභාරය වන්නේ එම එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා අත්හදා බැලීම්වලින් ජනනය වන දත්ත සහ විද්‍යාව තක්සේරු කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෝලීය වශයෙන් සායනික අත්හදා බැලීම් සඳහා අපේක්ෂක එන්නත් 17ක් පවතී. මේ අතර චීනය, බ්‍රිතාන්‍ය ආදී රටවල්ද ප්‍රමුඛව මෙම කාර්යයට දායක වී සිටියි.



Recommended Articles