කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට ප්‍රංශය සලකා බලයි


ජනතාව එන්නත් ලබාගැනීමට ප්‍රමාදවීම සහ ඩෙල්ටා ප්‍රභේදය වැනි නව කොරෝනා ප්‍රභේදයන් රට තුළ ඉහළ යාමත් සමග ප්‍රංශය විසින් කොවිඩ්-19 මර්දන එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමට සලකා බලමින් සිටියි.

මෙම යෝජනාව ප්‍රංශ ජනාධිපතිවරයා විසින් අද (12දා) දිනයේ ජාතිය අමතා කරන දේශනයට පෙර සාකච්ඡාවට බඳුන් වූ තවත් යෝජනාවකි.

වසංගතයට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඉදිරි මාස සඳහා රජයේ සැලසුම් පිළිබඳව එම්මානුවෙල් මැක්‍රොන් විසින් අද දිනයේ අදහස් දැක්වීමට නියමිත අතර, එය එල්සි මාලිගයේ සිට රාත්‍රී 8.00ට සජීව විකාශයක් ලෙස ප්‍රචාරය වෙයි.

ග්‍රීෂ්ම නිවාඩු කාලය ඉතා වේගයෙන් ගෙවීයමින් ඇති බැවින් එන්නත ලබාගැනීම සඳහා උනන්දු වන ලෙස ප්‍රංශ නායකයා මහජනතාවගෙන් තවත් හදිසි ආයාචනයක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

පාර්ලිමේන්තුවේදී මැක්‍රොන්ගේ සන්ධානයට නිතිපතා සහාය දෙන පක්ෂය වන මොඩෙම්හි නායකයා පැවසුවේ සෑම කෙනෙකුටම අනිවාර්ය එන්නත ලබාදීම හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැති බවයි.

ෆ්‍රැන්කොයිස් බයිරූ යෝජනා කළේ එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන සෞඛ්‍ය සේවකයන් හෝ ඕනැම වෘත්තිකයෙකු සිය රාජකාරීවලින් අත්හිටවිය යුතු බවයි.

එරට ජාතික වෛද්‍ය ඇකඩමියද කොවිඩ්-19 මර්දන එන්නත ජනතාව වෙත අනිවාර්ය කිරීම ඉල්ලා සිට ඇත.

මන්දයත් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉහළ යාමත් සමඟ ප්‍රංශයේ කොරෝනා ආසාදනවල නව රැල්ලක් දැකිය හැකි අතර, ජූලි 10 වන දින නව ආසාදන සංඛ්‍යාව ජුනි 9 න් පසු වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාව බවට පත්ව තිබේ.



Recommended Articles