බ්‍රසීලයේ අන්ත දක්ෂිනාංශික ජනාධිපති සහ එරට ඉහළම මට්ටමේ කොවිඩ්-19 රෝගියා වන ජෙයාර් බොල්සනාරෝ ඊයේ (19දා) පස්වරුවේ සිය ජනාධිපති මන්දිර භූමියේ ඇවිදිමින් සිය ආධාරකරුවන් පිරිසකට සුබ පැතූ ආකාරය සිය ෆේස්බුක් පිටුවේ සජීව වීඩියෝවක් ලෙස විකාශය කර තිබේ.
බොල්සොනාරෝ මුඛ ආවරණයක් පැලඳ සිටියද, ඔහුගෙන් සැලකිය යුතු දුරස්ථභාවයක් නිරතුරුවම පවත්වා ගෙන යන බවක් නොපෙන්වූ සහායකයන් ගණනාවක්ම ඔහු සමීපයේ සිටියහ. එසේම බොල්සොනාරෝ කතා කරමින් සිටියදී නැවත නැවතත් මුඛ ආවරණය පහත් කරමින් කතා කරන ආකාරයද සම්පූර්ණ සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කිරීමක් විය.
මෙහිදී ඔහුගේ ආධාරකරුවන් කුඩා ජල ඇළකින් ජනාධිපතිවරයාගෙන් වෙන් වූ නමුත් ඉන් දෙදෙනෙකු බොල්සොනාරෝගේ පැත්තට ගමන් කරනු දැකිය හැකි විය. ශාරීරික ආබාධයක් ඇති බවක් පෙනෙන්නට තිබූ එක් අයෙකුව අනෙකා විසින් ජනාධිපතිවරයා සමීපයට කැඳවාගෙන ගියේ කොරෝනා අමතක කරමිනි.
මුල සිටම වෛරසය පුංචි උණක් ලෙස සලකා එය ගණනකට නොගත්, වගකීමෙන් තොරව හැසිරුණු බොල්සොනාරෝගේ මෙම ක්‍රියාකලාපයන් මධ්‍යයේ මේ වනවිට ගෙවීගිය දිනයේද එරට ආසාදිතයන් 23,000කට අධික සංඛ්‍යාවක් වාර්තා විය.
ඒ අනුව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉරිදා නව කොරෝනා ආසාදිතයන් 23,529ක් වාර්තා කළ අතර ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,098,389ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොවිඩ් -19 මරණ 716ක් වාර්තා කර ඇති අතර, මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 79,488ක් දක්වා ඉහළ ගොස් තිබේ.