නව කොරෝනා වෛරස් වසංගතයට එක්සත් රාජධානියේ රජය දැක්වූ ප්‍රතිචාරයට දෝෂාරෝපණය කරමින් එය අසාර්ථක වූවක් බව ද ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රධාන කර්තෘ රිචඩ් හෝර්ටන් චෝදනා කරයි.
"එක්සත් රාජධානියේ රජයේ මැදිහත්වීම, ක්ෂණික ක්‍රියාත්මකවීම, ආසාදිතයන් අවම කිරීම මෙන්ම, පර්යේෂණ උපායමාර්ග සියල්ලක්ම අසාර්ථකයි. එය අසාර්ථකයි. මොකද, සැකසහිත සෑම සිද්ධියක්ම පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් බලධාරීන් විසින් අනුගමනය කළේ නැහැ. ඔවුන් හුදකලා කර නිරෝධායනය කළේ නැහැ. මහජන සෞඛ්‍ය හා බෝවන රෝග පාලනය පිළිබඳ මූලික මූලධර්ම නොසලකා හැරීමේ අනිටු විපාකවලට අප දැන් මුහුණ දෙනවා" යැයි අද (28දා) ප්‍රකාශයට පත්ව ඇති වෛද්‍ය සඟරාවේ වූ ලිපියකින් හෙතෙම අවධාරණය කරයි.
"එක්සත් රාජධානියට දැන් නව සැලසුමක් තියෙනවා. ඒ වෛරසය මර්දනය, ඉන් ආරක්ෂාවීම, ප්‍රතිකාර කිරීම සහ සිදුවන විනාශය අඩු කරන්න. නමුත් වෛරසය පැතිරයාමේදී මේ සැලසුමද බොහෝ ප්‍රමාදව ක්‍රියාවට නැංවීම නිසා දැඩි හා බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා ජාතික සෞඛ්‍ය සේවාව තවමත් සූදානම් නෑ."
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙවීගිය පැය 24දී තවත් මරණ 181ක් ප්‍රකාශයට පත්කළ අතර, සමස්ත මරණ සංඛ්‍යාව 759ක් විය. එමෙන්ම ආසාදිතයන් 14,500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති නමුත් එක්සත් රාජධානිය පුළුල් ලෙස පරීක්‍ෂා නොකිරීම නිසා සැබෑ ආසාදන සංඛ්‍යාව මීට වඩා වැඩිවනු ඇති බවද කියයි.
එමෙන්ම මේ වනවිට එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ද වෛරසයට ගොදුරුව ස්වයං හුදකලාවක සිටින අතර, ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාද රෝග ලක්ෂණ පෙන්වීම නිසා ස්වයං හුදකලාවක සිටියි.