කොවිඩ්-19 ආසාදිතයන් ලොව පුරා ලක්ෂ 18 සීමාවට ළංවෙයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලොව පුරා ලක්ෂ 18 සීමාවට ළංවෙමින්, අද උදෑසන වනවිට 1,773,358ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

එමෙන්ම මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි 108,702ක් බවද එම දත්ත පෙන්වා දෙයි.

මේ අතර ලොව පුරා වෛරසය ආසාදනය වූවන්ගෙන් රෝහල්ගතව සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස 402,207ක් බවද සඳහන් වෙයි.

කොරොනා වෛරසයෙන් වැඩිම බැටකෑමකට ලක්ව ඇති රාජ්‍ය ලෙස ඇමෙරිකාවෙන් මේ වනවිට ආසාදිතයන් 527,111ක් වාර්තා වෙමින් ආසාදිතයන්ගෙන් ඉදිරියෙන්ම සිටින රට බවට පත්ව තිබේ.

ඉන් අනතුරුව පිළිවෙළින් ස්පාඤ්ඤය දෙවැනි තැනට පත්ව ඇත්තේ ආසාදිතයන් 163,027ක් වාර්තා කරමිනි. සතිය ආරම්භයේදී ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැන ගත් ඉතාලිය තෙවැනි තැනට පත්ව ආසාදිතයන් 152,271ක්ද, සිව්වැනිව ප්‍රංශයෙන් ආසාදිතයන් 130,727ක්ද, පස්වනුව ජර්මනියෙන් ආසාදිතයන් 125,452ක්ද, හයවනුව මේ වනවිට වෛරසය පාලනය කර ඇති චීනයෙන් ආසාදිතයන් 83,014ක්ද, හත්වනුව බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් 79,883ක්ද ආදී වශයෙන් වාර්තා වෙයි.

ආසාදිතයන්ගෙන් මෙන්ම කොරෝනා මරණවලින්ද ඉදිරියට පැමිණ ඇති ඇමෙරිකාවෙන් මේ වනවිට කොවිඩ් මරණ 20,506ක් වාර්තා වෙයි. මෙතෙක් ලැයිස්තුවේ ඉහළ සිටි ඉතාලියෙන් දෙවනුවට කොවිඩ්-19 මරණ 19,468ක්ද, තෙවනුවට ස්පාඤ්ඤයෙන් මරණ 16,606ක්ද, සිව්වනුව ප්‍රංශයෙන් මරණ 13,832ක්ද, පස්වනුව බ්‍රිතන්‍යයෙන් මරණ 9,875ක්ද ආදී වශයෙන් වාර්තා වෙයි.



Recommended Articles