කොවැක්සින් එන්නත සියයට 77.8ක ඵලදායීතාවක් දක්වයි


ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කරන කොවැක්සින් කොවිඩ් -19 මර්දන එන්නතෙහි අවසාන අදියරේ සායනික අත්හදා බැලීම් මගින් එය කොරෝනා වෛරසයට එරෙහිව ඵලදායී බවත්, ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සැලකිය යුතු ආරක්ෂාවක් සපයන බවත් එම සමාගම පවසයි.

ඒ අනුව තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලදී මෙම එන්නත සමස්තයක් ලෙස 77.8%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන අතර, දැඩි කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයට එරෙහිව 93.4%ක ඵලදායීතාවක් පෙන්වා තිබේ. එමෙන්ම මේ වනවිට ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව 65.2%ක ආරක්ෂාවක් සපයන බවද සමාගම කියයි.

භාරත් බයෝටෙක් විසින් 2020 මුල් භාගයේදී කොවිඩ්-19 එන්නත නිපදවූ අතර, මෙම වසර මුලදී හදිසි භාවිතය සඳහා ඉන්දියාව එය අනුමත කළේය.

ඉන්දියාව සිය පුරවැසියන්ට ලබාදී ඇති ප්‍රධාන කොවිඩ්-19 එන්නත් දෙකෙන් එකක් වන මෙම කොවැක්සින් එන්නතට අමතරව, ඇස්ට්‍රාසෙනෙකා පීඑල්සී විසින් සංවර්ධනය කරන ලද සහ ඉන්දියාවේ සේරම් ආයතනය විසින් ඉන්දියාවේ නිෂ්පාදනය කරනලද කොවිෂීල්ඩ් එන්නතද එරට ජනතාවට ලබාදී තිබේ.

භාරත් බයෝටෙක් එන්නතෙහි අත්හදා බැලීමේ ප්‍රතිඵල ලැබීමට පෙර ඉන්දියාව තුළ එය අනුමත කිරීම නිසා ඉන්දියාවේ සමහරු එහි ආරක්ෂාව සහ ඵලදායීතාවය පිළිබඳව ප්‍රශ්න කළහ. එරට සෞඛ්‍ය සේවකයින් එම අවස්ථාවේදී කියා සිටියේ ඉක්මන් අනුමැතිය ලබා ගැනීම නිසා සමහර අය එන්නත ලබා ගැනීමට පසුබට වන අතර එය රටේ එන්නත් කිරීමේ වේගය මන්දගාමී වීමටද හේතු වූ බවයි.



Recommended Articles