ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයේ හඳුනා නොගත් නියුමෝනියා තත්ත්වයක් පිළිබඳ වාර්තා ලැබී අදට මාස හයක් ගත වන බවත්, පසුව නව කොරෝනා වෛරසය ලෙස හඳුනාගත් එය ලොව පුරා ආසාදිතයන් හා මරණ ඇතිකර තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ජිනීවා නුවර ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී ටෙඩ්‍රොස් පැවසුවේ මේ වසංගතය අවසන් වීමට ආසන්න නොමැති බවයි.
"වෛරසය පැතිර යාමේ මාස හයේ සංවත්සරය සනිටුහන් වනවිට ලොව පුරා මිලියන 10කට වෛරසය ආසාදනය වෙලා. ඒ වගේම මරණ 500,000ක් සමග එය සමපාත වෙලා" ටෙඩ්‍රොස් පැවසීය.
"අප සියලු දෙනා අප ලබා ඇති ප්‍රගතිය සහ අප ඉගෙන ගත් පාඩම් ගැන මෙනෙහි කිරීමටත්, ජීවිත බේරා ගැනීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කිරීමට අපව නැවත යොමු කිරීමටත් මෙය අවස්ථාවක් කරගත යුතුයි" ටෙඩ්‍රොස් පෙන්වා දුන්නේය.
"මාස හයකට පෙර, මේ නව කොරෝනා වෛරසයෙන් අපේ ලෝකය සහ අපගේ ජීවිත මේ ආකාරයේ නොසන්සුන්තාවකට පත්කරනු ඇතිදැයි අප කිසිවෙකුටත් සිතාගත නොහැකි වුණා." අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.