කොරෝනා හමුවේ දකුණු ආසියාවම දැඩි අවදානමක


නව කොරෝනා වෛරසය හමුවේ දකුණු ආසියානු කලාපයේ භූතානය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින හැරුණු විට කලාපයේ ප්‍රබලතම රාජ්‍ය වන ඉන්දියාව ප්‍රමුඛව, පාකිස්තානය සහ බංග්ලාදේශයද දැඩි අවදානමකට පත්ව තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව අද (08දා) උදෑසන වනවිට ඉන්දියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 7ක් ඉක්මවා වාර්තා වූ අතර, එම අගය දැක්වුණේ 719,664ක් වශයෙනි. පසුගිය දින කිහිපයේදීම ඉන්දියාවෙන් 20,000 ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා විය. එමෙන්ම ඉන්දියාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද මේ වනවිට 20,159ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කලාපයේ දෙවනුවට වැඩිම බලපෑමට ලක්වූ රාජ්‍ය වන්නේ පාකිස්තානයයි. එරට සමස්ත ආසාදිත අගය මේ වනවිට 234,509ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සඛ්‍යාව 4,839ක් ලෙස වාර්තා වෙයි.

තෙවනුවට කලාපයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ බංග්ලාදේශයයි. එරට සමස්ත ආසාදිත අගය 168,645ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 2,151ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසන්න කාලයේදී අඛණ්ඩ ආසාදිත වර්ධනයක්ද පෙන්වා තිබේ.

එමෙන්ම කලාපයේ සෙසු රටවල් අතර ඇෆ්ගනිස්ථානයේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 33,384ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 920කි. නේපාලයේද මේ වනවිට සමස්ත ආසාදිත අගය 16,168කි. එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 35ක් ලෙස සටහන් වෙයි.



Recommended Articles