නව කොරෝනා වෛරස් රෝගය මැඬපැවැත්වීම සඳහා චීනය දක්වන ප්‍රතිචාරය විශිෂ්ට බවත්, එහිදී චීනයේ කීර්ති නාමයට දක්වන අපකීර්තිය හෙළා දකින බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටියේය.
ඊයේ (08දා) දිනයේදී ඉතියෝපියාවේ, අඩිස් අබාබා නුවර පැවති අප්‍රිකානු සංගම් සමුළුවට සමගාමීව අදහස් දක්වමින් මහලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම සටනට සහයෝගීතාව මිස වෙනස්කොට සැලකීමක් සිදු නොකළ යුතු බවයි.
"රෝගය පාලනය කිරීම සහ එහි ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා චීනය විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බව පැහැදිලියි. එම උත්සාහය විශිෂ්ට යැයි මා සිතනවා."
වෛරසය පැතිරීම හේතුවෙන් චීනයේ කීර්ති නාමයට කැළලක් කිරීම නුසුදුසු යැයි පවසමින් ඔහු වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගයක් හා සහයෝගීතාවක් ඉල්ලා සිටියේය.