කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නේද යන්න සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අද සාකච්ඡාවක නිරත වෙයි.
කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ (29දා) දිනය අවසාන වනවිට චීනය තුළ මියගිය සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
එමෙන්ම මෙතෙක් කොරෝනා ආසාධිතයන් වාර්තා නොවූ චීනයේ ටිබෙට් පළාතෙන්ද සිද්ධියක් වාර්තා වීමත් සමග වෛරසය සෑම පළාතක් වෙතම තනි තනි සිද්ධි වශයෙන් හෝ පැතිරී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
එමෙන්ම චීනයේ සෞඛ්‍ය බලධාරීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරන ආකාරයට ඊයේ දිනය අවසන් වනවිට ආසාධිතයන් සංඛ්‍යාව 7,711ක් බවට පත්ව තිබේ.
එමෙන්ම කොරෝනා ආසාදිතයන් මේ වනවිට ලොව පුරා රටවල් 16කින් වාර්තා වන අතර, ශ්‍රී ලංකාවද ඒ අතර වෙයි.
"පසුගිය දින කිහිපය තුළ ඇතැම් රටවලටත් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් මෙන්ම, මිනිසාගෙන් මිනිසාට එය සම්ප්‍රේෂණය වීම ගැන අප කනස්සල්ලට පත්ව සිටිනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (29දා) පවසා සිටියේය.
"චීනයෙන් පිටත සිටින ආසාදිතයන් පිරිස තවමත් සාපේක්ෂව කුඩා වුවත්, එය ඉහළ යාමේ විභවයක් තිබෙනවා." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති අතර, වෛරසය වැලඳුණු බොහෝ දෙනෙකුට උග්‍ර ශ්වසන ආසාදන ඇති කරමින් එය මරණය දක්වා ගමන් කළ හැකි බවද කියැවෙයි.
සමාන සාර්ස් සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් මෙන්, නව කොරෝනා වෛරසය විශේෂයෙන් වයෝවෘද්ධ අයට සහ මීට පෙර රෝගාබාධ සහිත පුද්ගලයින්ට වැඩි අවදානමක් ඇතැයිද සැලකෙයි.
මෙතෙක් වාර්තා වී ඇති ආසාදන හා මරණ වාර්තා වී ඇත්තේ චීනයේ හුබෙයි පළාතේ සහ එහි අගනුවර වන වුහාන්වලිනි.