රට පුරා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම අත්‍යවශ්‍ය යැයි තමා නොසිතන අතර, ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැලඳීම ගැටලුවක් නොවන බවත්, එය පැලඳීම හොඳ බව තමා සිතන බවත් අවසානයේදී පවසයි.
ෆොක්ස් බිස්නස් සමග පැවති සාකච්ඡාවකදී ට්‍රම්ප් මෙම අදහස් පළ කළ අතර, මේ දක්වා මුඛ ආවරණ සම්බන්ධයෙන් විරෝධාකල්පයක් පමණක්ම දැක්වූ ට්‍රම්ප්, අවසානයේදී මුඛ ආවරණ සම්බන්ධයෙන් යම් සුළු හෝ හොඳක් පවසා ඇත්තේ ගිලෙන මිනිසාට තුත්තිරි ගසත් ගසක් යන වදන සිහිපත් කරමින් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ජනතාව තමා මුඛ ආවරණයක් පැලඳ සිටිනු දැකීම ගැන කිසිදු ගැටලුවක් නොමැති බවද ට්‍රම්ප් කියා සිටියේ මාස ගණනක් පුරා මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ භූමිකාවක සිටය.
"මම කිව්වේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මට මුඛ ආවරණයක් තිබුණා. බැලූ බැල්මට මම කැමතියි. ඒක හරි. ඒක කළු පැහැති එකක්. ඒක පැලඳුවාම හොඳ පෙනුමක් තියෙනවා. හරියට ලෝන් රේන්ජර් වගේ. මම පැලඳ සිටිනවා දැක්ක කියල මට කිසිම ගැටළුවක් නැහැ. මම හිතන්නේ මිනිසුන්ට ඒ ගැන හොඳ හැඟීමක් තිබේ නම් ඔවුන්ටත් මුඛ ආවරණයක් පලඳින්න පුළුවන්." ට්‍රම්ප් කියා සිටියේ මුඛ ආවරණයේ අවශ්‍යතාවට වඩා වෙනත් වැල් වටාරමකි.
මේ අතර කොරෝනා වෛරසය කවදා හෝ අතුරුදන් වනු ඇතැයි තමා තවමත් විශ්වාස කරන බවද ට්‍රම්ප් මෙම සාකච්ඡාවේදී කියා සිටියේය.
"අපි ඉතා ශක්තිමත් ආකාරයකින් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ඒ වගේම මම හිතන්නේ අපි නව කොරෝනා වෛරසයට ඉතා හොඳින් මුහුණ දේවි. යම් අවස්ථාවක දී එය අතුරුදන් වනු ඇති බව මා විශ්වාස කරනවා. මම එය බලාපොරොත්තු වෙනවා" ඇමෙරිකාව නව කොරෝනා වෛරසයෙන් දිනකට ආසාදිතයන් 100,000ක් දක්වා ඉහළ යනු ඇති බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇති පසුබිමක ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.