කෙන්යා මැතිවරණ ප්‍රතිඵලය ගැන කොමිසමට ගැටලුවක්


කෙන්යාවේ ස්වාධීන මැතිවරණ කොමිසමේ (IEBC) ඉහළ නිලධාරීන් හතර දෙනෙක් සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපතිවරණ පිතිඵලයේ වගකීමෙන් ඈත්වී තිබේ.

උප සභාපති ජූලියානා චෙරේරා, ෆ්‍රැන්සිස් වැන්ඩරි, අයිරින් මාසිත් සහ ජස්ටස් න්‍යාංගායා ඇතුළු සිව්දෙනා, කොමිසමේ සභාපති වෆුලා චෙබුකාටි අගෝස්තු 9 ඡන්දයේ ජයග්‍රාහකයා ලෙස විලියම් රූටෝ ප්‍රකාශයට පත් කරමින් සිටියදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව කියා සිටියහ.

ඔවුන් ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාවලියේ අවසාන කොටස විනිවිදභාවයකින් තොරවූ නිසා ප්‍රතිඵලයේ වගකීම තමන්ට ගත නොහැකි බවයි. අඟහරුවාදා ඔවුන් තම ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දෙවැනි මාධ්‍ය හමුවද පැවැත්වූහ.

කොමසාරිස්වරුන් තම තීරණයට හේතු වූ කරුණු හතරක් කියවූ අතර, ඔවුන් චෝදනා කළේ අපේක්ෂකයින්ගේ ඡන්ද ප්‍රතිශතය වැරදි ලෙස එකතු කිරීමක් දැකිය හැකි බවයි.

කෙසේ වෙතත් කොමිසමේ සභාපති විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ 48.85%ක් ලබා සිටි රයිලා ඔඩිංගා අභිභවා යමින් 50.49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් රූටෝ ජයග්‍රාහකයා බවට පත් වූ බවයි. අනෙකුත් අපේක්ෂකයින් ජෝර්ජ් වජක්කෝයා සහ ඩේවිඩ් මුවෝරේ පිළිවෙලින් 0.44%ක් සහ 0.27%ක් ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම තීරණ ගැනීමේදී සභාපතිවරයා ඒකපාර්ශ්විකව තීරණ ගන්නා බවට කොමසාරිස්වරු චෝදනා කළහ.

කෙසේ වෙතත්, රූටෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව, මැතිවරණ කොමිසම ඔහුව අඟහරුවාදා තේරී පත් වූ නිල ජනාධිපති ලෙස ගැසට් කළේය. දින හතක් ඇතුළත මැතිවරණ පෙත්සමක් ගොනු නොකළහොත් අගෝස්තු 30දා ඔහු දිවුරුම් දෙනු ඇත.



Recommended Articles