කියෙව් හි හමුදා ක්‍රියාකාරකම් අඩුකළේ සාම සාකච්ඡා නිසයි


යුක්රේනය සමග සාකච්ඡා ප්‍රායෝගික අදියරට එළැඹීමත් සමග රුසියාව කියෙව් සහ චර්නිගොව් අසල සිය හමුදා ක්‍රියාකාරකම් දැඩි ලෙස අඩු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය ඇමති ඇලෙක්සැන්ඩර් ෆොමින් පවසයි.

යුක්රේන දූත පිරිස සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆොමින් පැවසුවේ, "කියෙව් සහ චර්නිගොව් වෙත ප්‍රවේශයන් පිළිබඳ හමුදා ක්‍රියාකාරකම් දැඩි ලෙස අඩු කිරීමට සාකච්ඡාවන්හි ප්‍රගතිය සමග තීරණයක් ගත්" බවයි.

"කෙසේ වෙතත් මෙය සාර්ථක කරගැනීමට යුක්රේනයද අදාළ ප්‍රධාන තීරණ ගනු ඇතැයි අප අපේක්ෂා කරන අතර තවදුරටත් සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇති" ඔහු පැවසීය.

"යුද සිරකරුවන්ට මානුෂීය ලෙස සැලකීම සම්බන්ධයෙන්ද ඇතුළුව ජිනීවා සම්මුතිවලට මුළුමනින්ම අවනත වන ලෙස දෙපාර්ශ්වයම සාකච්ඡා කළ" බවද ෆොමින් සඳහන් කළේය.

යුක්රේනයේ මධ්‍යස්ථභාවය සහ න්‍යෂ්ටික නොවන තත්ත්වය පිළිබඳ ගිවිසුමක් සකස් කිරීම මෙන්ම, යුක්රේනයට ආරක්‍ෂක සහතික ලබාදීම පිළිබඳ සාකච්ඡා ප්‍රායෝගික අවධියට පිවිසීම හේතුවෙන් මෙම ප්‍රධාන තීරණය ගෙන ඇති බව ඔහු පැහැදිලි කළේය.

එසේම රුසියානු හමුදාවන්ගේ ක්‍රියාකාරකම් අඩු කිරීම අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි කිරීමට සහ සාකච්ඡා තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි නිර්මානය කිරීමට සහ ගිවිසුමට එකඟ වීමේ සහ අත්සන් කිරීමේ අවසාන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හේතු වනු ඇති බවද ෆොමින් පැවසීය.

සාකච්ඡා පැවැත්වෙන තුර්කියේ ඉස්තාන්බුල්හි සිට මොස්කව් වෙත රුසියානු නියෝජිත කණ්ඩායම නැවත පැමිණීමෙන් පසු රුසියානු සාමාන්‍ය කාර්ය මණ්ඩලය විසින් වැඩිදුර විස්තර ප්‍රකාශයට පත් කරනු ඇත.

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා කඳවුරට කිසිදා එක් නොවන මධ්‍යස්ථ රටක් ලෙස යුක්රේනය නිල වශයෙන් ප්‍රකාශ කරන ලෙස රුසියාව දැන් ඉල්ලා ඇත.



Recommended Articles