කාලගුණය උණුසුම් වුණාට කොරෝනා පසුබසින්නේ නෑ


ඇමෙරිකාවේ කාලගුණය උණුසුම් වූ වහාම කොරෝනා වෛරසය පහව යනු ඇති බවක් නොපෙනෙන බව එරට ප්‍රමුඛතම විද්‍යාඥ මණ්ඩලයක් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා තිබුණේ, "කාලගුණය තරමක් උණුසුම් වූ විට වෛරසය ආශ්චර්යමත් ලෙස පහව යනු ඇති" බවයි.

ඉහළ පරිසර උෂ්ණත්වය හා ආර්ද්‍රතාවක් සහිත පරිසරවල කොරෝනා වෛරසය අඩු කාර්යක්ෂමතාවකින් සම්ප්‍රේෂණය විය හැකි බවට යම් සාධක කිහිපයක් තිබුණත්, තවමත් නිසි ප්‍රතිකාරයක් නොමැති මෙම වෛරස ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය ආරක්ෂක දැඩි පියවරයන්ගෙන් තොරව සැලකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ධවල ​​මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලයේ කෙල්වින් ඩ්‍රොජ්මියර් වෙත ජාතික විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් යවන ලද ලිපියකින් අනාවරණය කෙරෙයි.

නිදසුනක් වශයෙන් චීනයේ වෛරසය පැතිරී යාම පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වී තිබුණේ උපරිම උෂ්ණත්වය හා ආර්ද්‍රතා තත්ත්ව යටතේ වුවද වෛරසය ප්‍රබල ලෙස පැතිරෙන බවයි. එමෙන්ම සෑම ආසාදිත පුද්ගලයෙකුම එය සාමාන්‍යයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට පමණ ව්‍යාප්ත වන බවද සොයාගෙන තිබේ.

සමහර රසායනාගාර අධ්‍යයනවලින් උණුසුම් හා වඩා තෙතමනය සහිත තත්ත්ව යටතේ වෛරසය සම්ප්‍රේෂණය වීම අඩු වී ඇති බවට යම් අධ්‍යයනයන් තිබුණත්, එය තවමත් සැලකිය යුතු මට්ටමක නොමැති බවද එම විද්‍යාඥයන් පෙන්වා දෙයි. එනම් සැබෑ ලෝකයේ වෛරසය තවමත් උණුසුම් කාලගුණයක් ඇති රටවල සම්ප්‍රේෂණය වන බව එම ලිපියේ සඳහන් වෙයි.

"වර්තමානයේදී ඔස්ට්‍රේලියාව සහ ඉරානය වැනි ග්‍රීෂ්ම දේශගුණික තත්ත්ව පවතින රටවලද වේගයෙන් වෛරසය පැතිරීමකට ලක්ව ඇති නිසා, ආර්ද්‍රතාව හා උෂ්ණත්වය ඉහළ යාමක් සමග වෛරසය පැතිරීම අඩුවීමක් උපකල්පනය නොකළ යුතුයි" යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.



Recommended Articles