කාම්බෝජයේ හුන් සෙන් දැවැන්ත ජයග්‍රහණයක් සමග යළිත් අගමැති


කාම්බෝජ අගමැති හුන් සෙන්ගේ කාම්බෝජ ජනතා පක්ෂය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගනිමින් යළිත් වරක් බලයට පත්ව තිබේ.

වර්ෂ 1985 සිට බලයේ සිටින හුන් සෙන් වෙත මෙවර මැතිවරණයේදී තරගයක් ලබාදීම සඳහා කිසිදු අපේක්ෂකයෙකුට අවස්ථාව හිමි වී නැත.

කාම්බෝජ ජනතා පක්ෂය (සී.පී.පී) 77.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ආසන 125න්, සමස්තයේ බලය රැගෙන ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී, එරට ප්‍රබල විරුද්ධ පක්ෂය වූ කාම්බෝජ ජාතිය මුදාගැනීමේ පක්ෂය (සී.එන්.ආර්.පී.) කලින්ම මැතිවරණයෙන් ඉවත්වීම මෙම ජයග්‍රහණය සඳහා වඩාත් පහසුවක් වී ඇති බවද කියැවෙයි.

මෙවර මැතිවරණයේ බලවත් දෝෂයක් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එමෙන්ම, කාම්බෝජ රජයේ නිලධාරීන් වෙත වීසා බලපත්‍ර ලබාදීමේ නීති දැඩි කිරීමටද ඇමෙරිකාව තීරණය කර ඇති අතර, යුරෝපා සංගමය එරටට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් වෙයි.

කෙසේ වෙතත්, වත්මන් අගමැති හුන් සෙන්ගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් බටහිරින් විවිධ චෝදනා එල්ල වුවද, ඔහු කාම්බෝජය වෙත දැවැන්ත ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කර දුන් රාජ්‍ය නායකයෙකු ලෙස එරට වැසියන්ගේ පිළිගැනීම වී තිබේ.



Recommended Articles