කාම්බෝජයේ චීන කඳවුරක් ගැන කතාවේ ඇත්ත නැත්ත


කාම්බෝජයේ චීන නාවික කඳවුරක් රහසිගතව ඉදිකරන බවට වොෂිංටන් පෝස්ට් විසින් පළ කරන ලද වාර්තාවක් බීජිං පාලනය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

චීනය සහ කාම්බෝජය විවිධ අංශවල විවෘත, විනිවිද පෙනෙන, තාර්කික සහ නීත්‍යානුකූල සහයෝගීතාවයක් භුක්ති විඳින පුළුල් උපායමාර්ගික හවුල්කරුවන් යැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසීය.

දෙරට විසින් සිදු කරන ලද ඒකාබද්ධ කාර්යය නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා සහ මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා හොඳ උදාහරණයක් බවද ඔහු අවධාරණය කළේය.

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ජිබුටි හි එක් විදේශීය කඳවුරක් පමණක් ඇති චීනය මෙන් නොව, එක්සත් ජනපදය යනු විදේශයන්හි හමුදා කඳවුරු 800කට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන රාජ්‍යයක් බවද ෂාඕ මෙහිදී සිහිපත් කළේය.

වොෂිංටනයට ලොව විශාලතම ආරක්ෂක අයවැය තිබීම හෙළාදුටු චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා, නිරන්තරයෙන්ම පාහේ විදේශයන්හි යුද්ධවලට සම්බන්ධ වීම, වෙනත් ජාතීන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හමුදා ගුවන් යානා සහ යුධ නැව් අනෙකුත් රටවල දොරකඩට ගෙනැවිත් සරඹ කිරීම ඇමෙරිකානු උපායමාර්ගය බවද සඳහන් කළේය.

ගෝලීය සහ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය යටපත් කරමින් වැරදි තොරතුරු පතුරුවන්නේ කවුද යන්න මේ ඔස්සේ ඕනෑම කෙනෙකුට කියවාගත හැකි බවත් චීන ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. එමෙන්ම, කාම්බෝජයේ ප්‍රතිරූපය නිෂේධාත්මක ලෙස හැකිළවීමට පොලඹවන ලද පදනම් විරහිත චෝදනා නිරන්තරයෙන් සිදුකරන කවුද යන්නත් චීනය ප්‍රශ්න කර සිටියේය.

තායිලන්ත බොක්කෙහි පිහිටි රීම් නාවික කඳවුර ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ කාම්බෝජ නාවික හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා පමණක් බව තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ රටේ ව්‍යවස්ථාවෙන් එයට විදේශීය හමුදා පහසුකම් සැපයීම තහනම් කර ඇති බවද අවධාරණය කළේය.



Recommended Articles