කාම්බෝජයේ මහ මැතිවරණය ආරම්භ වුවද, වර්ෂ 1985 සිට බලයේ සිටින අගමැති හුන් සෙන් සහ ඔහුගේ පක්ෂයට මෙවර මැතිවරණයෙන් වැඩි බලපෑමක් සිදුනොවනු ඇතැයි විදෙස් වාර්තා අවධාරණය කරයි.
පසුගිය මැතිවරණයේදී පාලක පක්ෂයට ඉතා තියුණු සටනක් ලබාදුන් ප්‍රධාන විපක්ෂය වන කාම්බෝජ ජාතික මුදාගැනීමේ පක්ෂය මෙවර මැතිවරණය වර්ජනය කිරීම නිසා පාලක පක්ෂයට වඩාත් පහසු තරගයක් හිමිව තිබේ.
කෙසේ වෙතත්, පාලක කාම්බෝජ ජනතා පක්ෂය පවසන්නේ තවත් පක්ෂ 19ක් විරුද්ධ පක්ෂ ලෙස මෙවර තරගයට පැමිණ සිටින බවය.
මේ අතර, මැතිවරණයට පෙර පසුගිය සිකුරාදා කාම්බෝජ රජය විසින් එරට අන්තර්ජාල සේවා සැපයුම් ආයතන වෙත නියෝග කර තිබුණේ එරට ක්‍රියාත්මක පුවත් වෙබ් අඩවි රැසක් අවහිර කරන ලෙසය.
ඒ අනුව, රේඩියෝ ෆ්‍රී ඒෂියා, වොයිස් ඔෆ් ඇමෙරිකා සහ වොයිස් ඔෆ් ඩිමොක්‍රසි යන විදේශීය අන්තර්ජාල විකාශන අවහිර කර තිබුණි.
එමෙන්ම, ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් ආයතන රැසක වෙබ් අඩවිද මේ ආකාරයෙන්ද අවහිර කිරීමට රජය කටයුතු කර තිබුණි.
මේ සම්බන්ධනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබුණත්, කාම්බෝජය පසුගිය දශක කිහිපය තුළ වත්මන් පාලනය යටතේ වඩාත් ප්‍රබල ආර්ථික සංවර්ධනයක් රට තුළ ඇති කරගෙන තිබූ බව දේශපාලන විචාරකයෝ පවසති.