කාබුල් අගනුවර රැකගැනීමට ඇෆ්ගන් හමුදා දැඩි පරිශ්‍රමයක


ඇෆ්ගනිස්ථාන රජය විසින් පාලනය කරන ලද භූමි ප්‍රදේශ ක්‍රමයෙන් බිඳ වැටෙමින්, මේ වනවිට එය රටේ අගනුවර වන කාබුල් නගරය ආසන්නයටම පැමිණ ඇති බැවින්, රටේ අගනගරය බේරාගැනීම සඳහා ඇෆ්ගන් රජය සහ හමුදා දැඩි පරිශ්‍රමයක නිරත වෙයි.

මේ වනවිට නැගෙනහිර ජලලාබාද් නගරයද තලේබාන් අල්ලා ගත් අතර, එක්සත් ජනපදය සිය සිවිල් වැසියන් රටින් ඉවත් කිරීමට ආධාර කිරීම සඳහා තවත් භට පිරිස් ඇෆ්ගනිස්තානය වෙත එවීමට කටයුතු කළේය.

අගනුවරට පිටත අවසන් ප්‍රධාන නගරය කඩා වැටීම කැරලිකරුවන්ට ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය සම්බන්ධ කරන මර්ගයේ බලයද ලැබී ඇති බව සඳහන් වේ.

තලේබාන් සංවිධානය විසින් උතුරුදිග ප්‍රධාන නගරයක් වන මසර්-අයි-ෂරීෆ් අල්ලා ගැනීමෙන් පසුව එය සිදුවිය.

මේ වනවිට වේගවත් වී ඇති තලේබාන් ආක්‍රමණය වහා නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඉල්ලීමක් කර ඇති අතර, තවත් රටවල් කිහිපයක්ම තම සිවිල් වැසියන් එරටින් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටියි.

එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා එරටින් ඉවත් වීමත් සමග පසුගිය සති කිහිපය තුළ ඇෆ්ගන් සටන්කාමීන් රට පුරා පැතිර ගියහ. තලේබාන් ව්‍යාපාරය පසුගිය සතියේදී විදුලි වේගයෙන් ක්‍රියාත්මක වූ අතර, ඇෆ්ගන් හමුදාවේ ආරක්‍ෂාව බිඳ වැටෙන බව පෙනෙන විට බටහිර රටවල් කම්පනයට පත්විය.



Recommended Articles