කාන්තාවන්ට එරෙහි හිංසනය නතර කරන ලෙස ඉල්ලා ලොව පුරා ජනතාව පාරට බැස තිබේ. ඒ අනුව, මෙක්සිකෝව, ඉතාලිය, තුර්කිය, සුඩානය ඇතුළු රටවල දහස් ගණන් කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේද සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය වී තිබේ.
කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ගෝලීය පෙළපාලි ආරම්භ වී තිබුණේ පසුගිය සඳුදා දිනයේදීය. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2017 දී ලොව පුරා කාන්තාවන් සහ ගැහැණු ළමයින් 87,000ක් පමණ ඝාතනය වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය “අද අපේ ලෝකයේ වඩාත් පුලුල්ව පැතිරී ඇති, නොනැසී පවතින හා විනාශකාරී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් එකක්” බවයි. එමෙන්ම, දඬුවම් නොලැබීම සහ අපකීර්තිය ඇතුළු ගැටළු හේතුවෙන් බොහෝදුරට මෙවැනි සිදුවීම් වාර්තා නොවන බවද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.