නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් වෙත ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශයේ සහ යුදෙව් ව්‍යාපාර ජාලයන්ගේ උදව් ලැබී ඇති බවට චෝදනා නැඟෙයි.
නවසීලන්තයේ විශාලතම මුස්ලිම් පල්ලිය ලෙස සැලකෙන රොස්කිල් මසජීඩ් ඊ උමර් හි සභාපති අහ්මෙඩ් බහාම්ජි මෙම චෝදනාව එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරකයා තනිව හැසිරුණු බව විශ්වාස කළ නොහැකි බවත්, ඔහු මේ සඳහා අරමුදල් ලබාගත්තේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු ඔක්ලන්ඩ්හි සිට ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශයක සඳහන් වන බවත්, එය සජීවීව ෆේස්බුක් හි ප්‍රචාරය කර ඇති බවත් සඳහන් වෙයි.
"මොහු පසුපස යම්කිසි කණ්ඩායමක් සිටිය හැකි බවට මට විශාල සැකයක් පවතිනවා. මේ ගැන කියන්න මම භය වෙන්නේ නැහැ. මට දැනෙන විදියට මොසාඩ් (ඊශ්‍රායල් බුද්ධි අංශය) මේ පිටුපස ඉන්නවා. එය ඇත්ත නම් මේ පිටුපස ඊශ්‍රායලය සිටිනවා. ඔවුන් විතරක් නොවෙයි. යුදෙව් ව්‍යාපාර ජාලයන්ද මේ පසුපස සිටිනවා." යැයි ඔහු පවසා ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට පසුව නවසීලන්ත මානව හිමිකම් කොමිසම විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, යුදෙව් ජනතාව ගැන පූර්ව නිගමනවලට එලැඹීමට නවසීලන්තය තුළ ඉඩක් නොමැති බවයි. ජාතිවාදය, වෛරය, යුදෙව් විරෝධය ආදිය දකින්නේ කොතැනද, එය හෙළා දකින බවත් ඔවුන් පවසා ඇත.