ඔස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ ඇති වී තිබෙන ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ ජීවත් වන දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කර යොමු කර තිබේ.
මෙම ලැව්ගිනි තත්ත්වයත් සමග ප්‍රාන්තයේ ලැව්ගිනි නිසා ඇති වන අවදානම් තත්ත්වය අති බිහිසුණු හෙවත් උපරිම තත්ත්වයක් ලෙස අනතුරු ඇඟවීමක් කර ඇති අතර, මෙවැනි අනතුරු ඇඟවීමක් ප්‍රාන්තය තුළ සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව, මේ වනවිට ප්‍රාන්තයේ ස්ථාන 130ක පමණ ලැව්ගිනි ඇතිව තිබෙන අතර, පවතින දැඩි සුළං තත්ත්වයත්, උණුසුම් වා දහරාවන් සහ සීත සෘතුවේ ආරම්භය සමග පවතින වියළි ස්වභාවයත් මෙම ලැව්ගිනි පැතිරීම වේගවත් කිරීමට හේතු වී තිබේ.
ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වැඩිම අවදානමක් පවතින ප්‍රදේශය ලෙස ග්‍රේස්මියර් ප්‍රදේශය සැලකෙන අතර, ප්‍රදේශයේ ජනතාව කඩිනමින් ආසන්න රොක්හැම්ප්ටන් නගරය වෙත යොමුකර ඇති බව කියයි.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ මෙවැනි ලැව්ගිනි තත්ත්වයන් ඇතිවන වියළි දකුණුදිග ප්‍රාන්තයන් සැලකීමේදී, මධ්‍යම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මෙවැනි ලැව්ගිනි තත්ත්වයක් ඇතිවීම තරමක් දුලභ සිදුවීමක් ලෙසද බලධාරීහු සඳහන් කරති.
කෙසේ වෙතත්, පසුගිය සතියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙතද ලැව්ගිනි තත්ත්වයක් බලපෑ අතර, මෙම ප්‍රාන්ත දෙකෙහිම පවතින අසාමාන්‍ය වියළි කාලගුණය මෙම තත්ත්වයට හේතු වී ඇති බවද කාලගුණ අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.