ක්ලෝරෝක්වින් ඖෂධයේ WHO සහයෝගීතා හස්තය සිය පරීක්ෂණයන් නවතයි


කොවඩ්-19 වෛරසය සඳහා ප්‍රතිකාරයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ඖෂධය රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකළ සහයෝගීතා පරීක්ෂණ වැඩසටහන නවතා දැමීමට තීරණය කර තිබේ.

හයිඩ්‍රොක්සික්ලෝරොක්වයින් හි ආරක්ෂාව පිළිබඳ ගැටළු සහ තමන්ගේම දත්ත සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මැයි මාසයේදී එහි සහයෝගිතා පරීක්ෂණයෙහි හයිඩ්‍රොක්සයික්ලෝරෝක්වින් හස්තය තාවකාලිකව නවතා දැමීය. මෙම මස මුලදී, එම සමාලෝචනයෙන් පසුව, ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ සහයෝගිතා පරීක්ෂණයෙහි කෝවිඩ්-19 විභව ප්‍රතිකාරයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අධ්‍යයනය කිරීම නැවත ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සුරක්‍ෂිතතා සහ අධීක්ෂණ කමිටුවේ නිර්දේශයක් මත කොවිඩ් -19 සහයෝගිතා පරීක්ෂණයෙහි හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් පිළිබඳ වූ වැඩසටහන නවතා දැමීමට තීරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙක් පැවසීය.

කොවිඩ්-19 ට එරෙහි මෙම ඖෂධය මගින් කිසිදු ප්‍රතිලාභයක් නොපෙන්වන බවට වූ එක්සත් රාජධානිය මගින් වෙනම සිදුකළ හයිඩ්‍රොක්සයික්ලෝරෝක්වීන් අධ්‍යයනයක මූලික තොරතුරු මෙන්ම, සහයෝගිතා පරීක්ෂණයෙන් ලබාගත් මුල් දත්ත මත පදනම්ව මෙම තීරණය ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ එන්නත් හා ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඇනා මාරියා හෙනාවෝ-රෙස්ට්‍රෙපෝ ඊයේ (17දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තීරණය පැමිණෙන්නේ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධ සඳහා වූ හදිසි භාවිතය සඳහා වූ අවසරය අවලංගු කිරීමෙන් දින කිහිපයකට පසුවය.

හයිඩ්‍රොක්සයික්ලෝරෝක්වීන් කරළියට පැමිණෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මාසයේදී කොවිඩ්-19 ප්‍රතිකර්මයක් ලෙස එය හඳුන්වාදීමත් සමගිනි. පසුව එය තමා විසින් වෛරසයෙන් ආරක්ෂාවීමට ගන්නා බවද ඔහු කියා සිටියේය. ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලඥයෙකුද මෙම ඖෂධයේම වෙනත් වෙළෙඳ නාමයක් රෝගීන් සඳහා නිර්දේශ කළේය.



Recommended Articles