ක්ලෝරොක්වීන් කොවිඩ්-19 රෝගීන්ට සහනයක් දෙන්නෑ -ප්‍රංශ අධ්‍යයනයකින් හෙළිවේ


ප්‍රංශයේදී සිදුකළ නව අධ්‍යයනයකට අනුව ජනාධිපති ට්‍රම්ප් විසින් 'ගේම් චේන්ජර්' ලෙස හංවඩු ගසනලද හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ඖෂධය රෝහල්ගතව සිටින කොවිඩ්-19 රෝගීන්ට සහනයක් දී නොමැති බවත්, ඉන් හෘද සංකූලතා ඇති වූ බවත් හෙළි වී තිබේ.

සී.එන්.එන්. වාර්තා කරන ආකාරයට ෆිලඩෙල්ෆියා හි ළමා රෝහලේ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය පෝල් ඔෆිට් පවසා ඇත්තේ, හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර නොකරන බවට මේ අධ්‍යයනයත් සාක්ෂි සපයන බවය. ඊටත් වඩා භයානක දෙය නම් මේ ඖෂධය ලබාදීමෙන් අතුරු ආබාධ ඇතිවීම බව පෙන්වා දෙන ඔහු, විශේෂයෙන්ම හෘද සංකූලතා ඇතිවන බව සඳහන් කර තිබේ.

මෙම අධ්‍යයනයේදී හයිඩ්රොක්සික්ලෝරෝක්වින් ඖෂධය ලබාගත් රෝගීන් 84 දෙනාගෙන් 20.2%ක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමක් හෝ දින හතක් ඇතුළත ජීවිතක්ෂයට පත්වීමක් සිදුව තිබේ. එමෙන්ම ඖෂධය ලබා නොගත් රෝගීන් 97 දෙනාගෙන් 22.1% ක්ද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමක් හෝ ජීවිතක්ෂයට පත්වීමක් තිබේ.

ඒ අනුව සංඛ්‍යානමය වශයෙන් මෙම වෙනස වැදගත් නොවන බව තීරණය කර තිබේ. එනම්, හුදෙක් මරණ දෙස බලන විට, හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ලබාගත් රෝගීන්ගෙන් 2.8%ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය නොගත් රෝගීන්ගෙන් 4.6%ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම වෙනස සංඛ්‍යානමය වශයෙන් වැදගත් නොවන බවද අධ්‍යයනය පෙන්වා දී තිබේ.



Recommended Articles