අවන්හලක් අසල සිය මෝටර් රථයේ නින්දට වැටී සිටි අප්‍රිකානු-ඇමරිකානුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමේ තවත් අවාසනාවන්ත සිදුවීමකින් පසුව ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
27 හැවිරිදි රේෂාඩ් බෘක්ස් එම ස්ථානයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමග පොරබැදීමක් සිදුකර එක් නිලධාරියෙකු අත වූ ටේසර් අවිය (විදුලි සැර වැදීම් සිදුකරන) රැගෙන දිවයන අවස්ථාවේදී පොලීසිය ඔහුට වෙඩි තබා ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
ඇට්ලන්ටා නගරාධිපති කීෂා ලාන්ස් බොටම්ස් පැවසුවේ පොලිස් ප්‍රධානී එරිකා ෂීල්ඩ්ස් සිය ඉල්ලා අස්වීම මේ වනවිට තමන් වෙත භාර දුන් බවයි.
පොලිස් අත්අඩංගුවේ සිටි නිරායුධ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසුව ඇමෙරිකාව පුරා ජනතාව දැනටමත් විරෝධතා ආරම්භ කර ඇති පසුබිමක, එම තත්ත්වය තවදුරටත් වර්ධනය කරන මෙම මරණයෙන් පසුව ඇට්ලන්ටා හි විරෝධතාකරුවන් සති අන්තයේ වීදි බැස බෘක්ස් වෙනුවෙන් හඬ නඟන ආකාරය දැකගත හැකිවිය.
ඇමෙරිකාවේ බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ මාලාව මේ වනවිට ඇමෙරිකාව අරාජික තත්ත්වයකට පත්කර ඇති අතර, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වසංගතය මෙන්ම, උද්ඝෝෂණ පාලනය හමුවේද දැඩි අසාර්ථකත්වයක් පෙන්වා තිබේ.