කරච්චි ප්‍රහාරකයා මරාගෙන මැරෙන බෝම්බකාරියක්ලු


පාකිස්ථානයේ, කරච්චි නුවර චීන භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයක් අසලදී පසුගිය 26දා එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතික ගුරුවරුන් තිදෙනෙකු සහ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වූහ.

ඔවුන් සිව්දෙනා කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය අසල වෑන් රථයක සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සානා උල්ලා පැවසීය.

ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකාරියක් වගකිව යුතු බව කරච්චි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, බුර්කාවකින් සැරසී සිටි කාන්තාවක් කොන්ෆියුසියස් ආයතනයෙන් පිටත පිපිරීම සිදුකළ බවට පොලීසිය විසින් බෙදාගත් සීසීටීවී දර්ශනවලද පැහැදිලිව දක්නට ලැබෙන බැවිනි.

පකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ සටන්කාමී බෙදුම්වාදී කණ්ඩායමක් වන බලෝෂ් බෙදුම්වාදී හමුදාව  (BLA) ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, එය මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් සිදුකළ බවද පවසා තිබේ.

ඔවුන් කොන්ෆියුසියස් ආයතනය ඉලක්ක කර ඇත්තේ එය "චීන ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන ව්‍යාප්තවාදයේ සංකේතයක්" වන නිසා බවද මෙම ත්‍රස්තවාදීන් සඳහන් කර ඇත.

මෙම පිපිරීමෙන් තවත් චීන ගුරුවරයෙකු තුවාල ලබා ඇති බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

"චීන ජනතාවගේ රුධිරය නිෂ්ඵල ලෙස වැගිරවිය යුතු නැහැ. මෙම සිද්ධිය පිටුපස සිටින අය නිසැකවම වන්දි ගෙවනු ඇති" එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.



Recommended Articles