ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ජාතියකට කොවිඩ්-19 වලින් බේරීමට නිහතමානීකම ඕනෑ


කොවිඩ්-19 භයානක වෛරසයක් බවත්, බෙදීගිය ලෙකයක මේ ආකාරයේ භයානක වෛරසයකට එරෙහිව සටන් කිරීම ඉතා අපහසු බවත් ලෝක සෞඛ්‍ය සංවිදානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

ස්විට්සර්ලන්තයේ, ජිනීවා හිදී ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ටෙඩ්‍රොස් මෙම අදහස් දැක්වීම කළේය.

"මෙය ඉතා භයානක වෛරසයක්. බෙදී ගිය ලෝකයක මේ ආකාරයේ භයානක වෛරසයකට එරෙහිව සටන් කිරීම ඉතා අපහසුයි."

"වෛරසය පාලනය කිරීම සඳහා රටවල් ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග බොහෝ පුරවැසියන්ගේ ජීවිත උඩු යටිකුරු කර තිබෙනවා" ටෙඩ්‍රොස් පැවසුවේ ගෝලීය සෞඛ්‍යයට ඇති බලපෑම විශාල නමුත් සමහර සමාජ බලපෑම් ඊටත් වඩා බරපතල බවයි.

"මිලියන ගණනකට රැකියා අහිමි වෙලා. බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ජීවනෝපායන් අහිමි වී ඇති බව අප දන්නවා."

"මෙය නිහතමානී අවස්ථාවක් විය යුතුයි." ටෙඩ්‍රොස් පැවසීය. "ඕනෑම පුද්ගලයෙකුට හෝ ඕනෑම ජාතියකට මේ ගැටලුවෙන් මිදීමට ඇති ප්‍රධාන මාර්ගය ලෙස නිහතමානිකම සැබවින්ම පිළිබිඹු කළ යුතුයි."

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම කතාවට පසුබිම දෙස බැලීමේදී, එම සංවිධානයට අරමුදල් සැපයීම නවත්වන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම තර්ජනය කළේය. පසුගිය මාසයේදී ඔහු දැඩිව කියා සිටියේ, ඉදිරි දින 30 තුළ විශාල වශයෙන් වැඩිදියුණු කිරීමට කැප නොවන්නේ නම් එක්සත් ජනපදයේ අරමුදල් ස්ථිරවම කපා හරින බවයි. එමෙන්ම වෛරසය ජයගැනීම සඳහා නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද හා සමාජ දුරස්ථකරණ වැඩපිළිවෙළවල් නොගෙන, වගකීමෙන් තොර හැසිරීම් තවදුරටත් පෙන්නුම් කරන රාජ්‍ය නායකන් සහ ජනතාව සිටින රටවල වෛරසය වේගයෙන් පැතිර යාමද ටෙඩ්‍රොස්ගේ මෙම ප්‍රකාශයට හේතු වන්නට ඇත.



Recommended Articles