ඔස්ට්‍රේලියා ආසාදන වැඩිවීම රට විවෘත කිරීමට බාධාවක්


ප්‍රජාව තුළ වෛරසය සමග රට විවෘත කිරීම පිළිබඳ විවාදය ඔස්ට්‍රේලියාවේ දිගින් දිගටම කතාබහ වෙමින් පැවතියද, අද (29දා) දිනයේදී එරට දේශීය වශයෙන් නව ආසාදිතයන් 1,323දෙනෙකු වාර්තා කිරීමත් සමග කණස්සල්ල වැඩිකර තිබේ.

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් එරට තුළ ඩෙල්ටා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වන අතර, එම ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් 1,218ක් වාර්තා විය. මෙම තත්ත්වය තුළ එම ප්‍රාන්තයේ පණවා ඇති සීමා සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පොරොන්දු වූයේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයගෙන් 70%කට එන්නත් මාත්‍රා ලබා දුන් පසු නැවත ප්‍රාන්තය විවෘත කරන බවය.

මේ අතර වසංගතය ආරම්භයේ සිට හයවැනි ලොක්ඩවුන් එක යටතේ ඇති රටේ දෙවැනි වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තය වන වික්ටෝරියා හි අද දිනයේදී නව ආසාදිතයන් 92ක් වාර්තා වූ අතර, එය වසරකට ආසන්න කාලයකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බව කියයි.

වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසුවේ බ්‍රහස්පතින්දායින් අවසන් වීමට නියමිතව තිබූ තම ප්‍රාන්තයේ අගුලු දැමීම දීර්ඝ කරන නමුත් කොපමණ කාලයකටද යන්න නොකියන බවයි.

ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා හි නව ආසාදිතයන් 13ක් වාර්තා වී තිබේ.

වැඩිහිටි ජනගහනයෙන් 70%ක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත ලබාදීමෙන් ආරම්භ වන වසංගත සීමාවන්ගෙන් ඉවත් වන මාර්ග සිතියමකට ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් පසුගිය ජූලි මාසයේදී අත්සන් තැබූහ.

කෙසේ වෙතත්, රටේ ප්‍රධාන නගර වන කැන්බරා, සිඩ්නි සහ මෙල්බර්න් හි මෑතකදී පැතිර ගිය වසංගත සහ අගුලු දැමීම මධ්‍යයේ සමහර ප්‍රාන්ත මහ ඇමතිවරු මෙම සැලැස්ම පිළිබඳව සැක පහළ කළහ. ඒ අනුව කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම සඳහා රටේ ප්‍රාන්ත කිහිපයක් ප්‍රාන්ත දේශසීමා වසා දැමීම, අගුලු දැමීම සහ දැඩි සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ඇතුළත් කර තිබේ.

කෙසේ නමුත් වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයගෙන් 70%ක් එන්නත් කිරීමේ ඉලක්කය සපුරා ගත් පසු සිය දේශසීමා නැවත විවෘත කරන ලෙස අගමැති ස්කොට් මොරිසන් ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේය.

ඔස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික ජෝෂ් ෆ්‍රයිඩන්බර්ග් අනතුරු ඇඟවූයේ කොරෝනා වෛරසයේ ලොක්ඩවුන් තත්ත්වය නැවත විවෘත කිරීමේ ජාතික සැලැස්ම මේ ආකාරයෙන් අනුගමනය නොකරන්නේ නම් රටේ ආර්ථිකය පීඩාවට පත් වන බවයි.



Recommended Articles