ඔස්ට්‍රියාව මාර්තු මාසයේදී බොහෝ සීමා ඉවත් දමාවි


මෑත දිනවල ඉහළ ආසාදන සංඛ්‍යාවක් තිබියදීත්, ඔස්ට්‍රියාව සිය කොවිඩ්-19 සීමාවන් බොහොමයක් මාර්තු 5දා සිට ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

ඔස්ට්‍රියානු රජය මේ මස මුලදී කොරෝනා වෛරස් සීමාවන් ලිහිල් කර ඇති අතර, ඔමික්‍රොන් ප්‍රභේදය සාපේක්ෂව මෘදුවීමත්, එන්නත් ලබාදීම වේගවත්වීමත් හේතුවෙන් රටේ රෝහල්වල තත්ත්වය ස්ථාවර වී ඇති බව පෙන්වා දෙයි.

ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහම්මර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මාර්තු 5දා වනවිට එන්නත් කිරීම, වෛරසයෙන් සුවය ලැබීම හෝ සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් වැනි පොදු ස්ථානවලට ඇතුළු වීමේ අවශ්‍යතා මෙන්ම තවත් බොහෝ සීමාවන් ඉවත් කරන බවයි.

ආපනශාලා සහ බාර් සඳහා කලින් වසා දැමීමේ වේලාවන් ඉවත් කරනු ලබන අතර, රාත්‍රී සමාජශාලා නැවත විවෘත කිරීමට ඉඩ දෙනු ලැබේ. කෙසේ වෙතත්, රෝහල් සහ සාත්තු නිවාස වැනි ඉහළ අවදානම් ප්‍රදේශවල මුඛ ආවරණ පැලඳීම තවදුරටත් අනිවාර්ය වෙයි.

"අපි තවමත් වසංගතය ජයගෙන නැහැ" ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහම්මර් පැවසීය. නමුත් ඔහු අවධාරණය කළේ තත්ත්වය හොඳ අතට හැරෙමින් පවතින බවය.

මෙසේ  සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් විධානයට ඇලී සිටින බවයි. මේ යටතේ ඔස්ට්‍රියාවේ සියලුම වැඩිහිටියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අනිවාර්ය කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ "වසංගතයෙන් මිදීමේ අපගේ මාර්ගය එන්නත් කිරීමයි. අපි සරත් සෘතුවේ දී නව ප්‍රභේදයකින් පුදුමයට පත් නොවන පරිදි එන්නත් කිරීම සඳහා ගිම්හානය භාවිතා කළ යුතුයි." යනුවෙනි.



Recommended Articles