කොරෝනා වෛරසයේ වඩාත් බෝවිය හැකි ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේදී හඳුනාගෙන දින කිහිපයකට පසු සෙනසුරාදා වනවිට තවත් යුරෝපීය රටවලින් එය මතු වූ අතර, ලොව පුරා රජයන් පැතිරීම නැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.
විශේෂයෙන්ම නව ප්‍රභේදයට එන්නත් මඟින් ලබාදෙන ආරක්ෂාවට වඩා ප්‍රතිරෝධී වීමේ හැකියාවක් ඇතැයි යන බිය නිසා, වසංගත සහ ඒ ආශ්රිත අගුලු දැමීමේ සීමාවන් බලාපොරොත්තු වූවාට වඩා බොහෝ කාලයක් පවතිනු ඇතැයි යන්නද ලොව පුරා මතුවෙමින් තිබෙන පැනයකි.
මේ වනවිටත් ලොවපුරා මිලියන 5කට වැඩි ජීවිත බිලිගත් වසංගතය ආරම්භ වී වසර දෙකකට ආසන්න කාලයක් තුළ රටවල් මේ නව ප්‍රභේදය ගැන දැඩි අවධානයෙන් පසුවෙයි.
තවත් ඔමික්‍රෝන් ප්‍රභේද අවස්ථා
ඔමික්‍රෝන් සම්බන්ධ ආසාදිතන් දෙදෙනෙකු සොයා ගැනීමෙන් පසු එක්සත් රාජධානිය සෙනසුරාදා මුඛ ආවරණ පැලඳීම සහ ජාත්‍යන්තර පැමිණීම් පරීක්ෂා කිරීම පිළිබඳ නීති දැඩි කළේය. මෙම ආසාදිතයන් දෙදෙනා දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අය බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් පැවසීය.
ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයද ප්‍රභේදයේ තහවුරු වූ අවස්ථා දෙකක් ප්‍රකාශයට පත් කළේය. මෙම පුද්ගලයින් දෙදෙනා නොවැම්බර් 24 වැනි දින මියුනිච් ගුවන් තොටුපලේදී ජර්මනියට ඇතුළු වූ දෙදෙනෙකි. එනම් ජර්මනිය දකුණු අප්‍රිකාව වෛරස් ප්‍රභේදයේ අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කිරීමට පෙරය. ඔවුන් මේ වනවිට හුදකලාව සිටින බව පැවසූ එම සෞඛ්‍ය අමාත්‍යාංශය, මොවුන් දකුණු අප්‍රිකාවේ සිට සංචාරය කර පැමිණ ඇති බව පැහැදිලිව තහවුරු කර නොමැත.
ඉතාලියේ, ජාතික සෞඛ්‍ය ආයතනය පැවසුවේ මොසැම්බික් සිට පැමිණි පුද්ගලයෙකු තුළ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු මිලානෝහිදී අනාවරණය වී ඇති බවයි.
චෙක් සෞඛ්‍ය බලධාරීන් ද පැවසුවේ නැමීබියාවේ කාලය ගත කළ පුද්ගලයෙකුගේ ප්‍රභේදයේ සැක සහිත ආසාදනයක් පරීක්ෂා කරන බවයි.
නෙදර්ලන්ත බලධාරීන් පැවසුවේ සිකුරාදා දකුණු අප්‍රිකාවේ සිට ගුවන් යානා දෙකකින් ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි පුද්ගලයින් 600න් 61දෙනෙකු කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි. එම අවස්ථා නව ප්‍රභේදයට සම්බන්ධ දැයි බැලීමට සෞඛ්‍ය බලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටියේය.
එක්සත් ජනපදයේ, රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පැවසුවේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් එක්සත් ජනපදයේද තිබේ නම් ඔහු පුදුම නොවන බවයි.
"අපි එය තවම හඳුනාගෙන නැහැ. නමුත් ඔබට මෙවැනි ඉහළ සම්ප්‍රේෂණ මට්ටමක් පෙන්වන වෛරසයක් ඇතිවිට එය නියත වශයෙන්ම සෑම තැනකම පාහේ ගමන් කරනවා" ෆවුසි එන්බීසී රූපවාහිනියට පැවසීය.
මූල්‍ය වෙළෙඳපොළ පහළට
නව වෛරසය ප්‍රභේදයේ තොරතුරු සමග මූල්‍ය වෙළෙඳපොළවල් සිකුරාදා වනවිට පහත වැටී තිබුණි. විශේෂයෙන් ගුවන් සමාගම්වල කොටස් සහ සංචාරක අංශයේ අනෙකුත් කොටස් මෙන්ම, තෙල් මිල බැරලයක් ඩොලර් 10 කින් පමණ පහත වැටුණි.
කෙසේ වෙතත් විද්‍යාඥයන්ට ප්‍රභේදයේ විකෘති සහ දැනට පවතින එන්නත් සහ ප්‍රතිකාර එයට එරෙහිව ඵලදායී වේද යන්න සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට සති කිහිපයක් ගත විය හැකි බව විශේෂඥ මතය වී තිබේ.
සංචරණ සීමා පැනවීම්
ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, යුරෝපා සංගමය, ඉරානය, ජපානය, තායිලන්තය, එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් දැනටමත් දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන් සඳහා සංචාරක සීමා පනවා ඇත. ඔවුන් ඔමික්‍රෝන් ප්‍රභේදය ප්රමුඛ ඩෙල්ටා ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණය කළ හැකිද යන්න තක්සේරු කිරීමට වැඩි කාලයක් ගැනීමට උත්සාහ කරමින් සිටියි.
බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ නව ප්‍රභේද දෙක එංගලන්තයෙන් සොයා ගැනීමෙන් පසුව ඉලක්කගත සහ පූර්වාරක්ෂාව ගත යුතු බවයි.
"මේ වනවිට, මෙම නව ප්‍රභේදයේ බීජ වැපිරීම සහ පැතිරීම මන්දගාමී කිරීම සහ අපගේ ආරක්ෂාව උපරිම කිරීම සඳහා වගකිව යුතු ක්‍රියාමාර්ගය මෙයයි" ඔහු ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත පැවසීය.
බ්‍රිතාන්‍ය රජය ඉරිදා සිට තවත් රටවල් හතරක් - ඇන්ගෝලා, මලාවි, මොසැම්බික් සහ සැම්බියාව - රතු ලැයිස්තුවට එක් කළේය. තවත් රටවල් හයක්, එනම් බොට්ස්වානා, එස්වාටිනි, ලෙසෝතෝ, නැමීබියාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ පසුගිය සිකුරාදා එකතු කරන ලදී. එයින් අදහස් වන්නේ එම ගමනාන්තවලින් පැමිණීමට අවසර ඇති ඕනෑම කෙනෙකුට නිරෝධායනය කිරීමට සිදුවනු ඇති බවයි.
ඊශ්‍රායලය පැවසුවේ සියලුම විදේශිකයන්ට ඇතුළුවීම තහනම් කරන බවත්, ප්‍රභේදයේ පැතිරීම පාලනය කිරීම සඳහා ත්‍රස්ත විරෝධී දුරකථන ලුහුබැඳීමේ තාක්ෂණය නැවත හඳුන්වා දෙන බවත්ය.
එන්නත්කරණය හා වැදගත්කම
නව ප්‍රභේදය ලෝක ජනගහනය කොපමණ දුරට එන්නත් කරන්නේද යන්නෙහි විෂමතා පිළිබඳව අවධානය යොමු කර ඇති බවද විශේෂඥ මතයයි.
වෛද්‍ය සහ මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව, බොහෝ සංවර්ධිත රටවල් තුන්වැනි මාත්‍රාව ලෙස බූස්ටර් මාත්‍රා ලබාදෙන අතරම, අඩු ආදායම්ලාභී රටවල පුද්ගලයන්ගෙන් 7%කට වඩා අඩු පිරිසකට ඔවුන්ගේ පළමු කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව හෝ ලැබී නැත.
ගාවි එන්නත් සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පැවසුවේ WHO සමග COVAX එන්නත් සාධාරණ ලෙස බෙදා හැරීම සඳහා පෙළඹවීම සඳහා නායකත්වය දෙන අතර, තවත් කොරෝනා වෛරස් ප්‍රභේද මතුවීම වැළැක්වීම සඳහා මෙය අත්‍යවශ්‍ය බවයි.
"අපි තවමත් ඔමික්‍රෝන් ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය වෙනාවා. ලෝක ජනගහනයෙන් විශාල කොටසක් එන්නත් නොකරන තාක්කල්, ප්‍රභේද දිගටම දිස්වනු ඇති අතර, වසංගතය දිගටම පවතිනු ඇති බව අප අවබෝධ කරගෙන සිටිනවා" ඔහු රොයිටර් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"අපට සියලු දෙනා ආරක්ෂා කිරීමට හැකි නම් පමණක් ප්රභේදයන් මතුවීම වළක්වා ගැනීමට පුළුවන්. අප ආරක්ෂා කරගත යුතු වන්නේ ලෝක ජනගහනයෙන් ධනවත් කොටස් පමණක් නොවෙයි." හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.