ඔමික්‍රෝන් මධ්‍යයේ ශ්‍රී ලංකාව ගැන CDC නව යාවත්කාලීනය


ඔමික්‍රෝන් වෛරසය පැතිරයාම මධ්‍යයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යස්ථානය (CDC) විසින් ශ්‍රී ලංකාව 3 වැනි මට්ටමේ (කොවිඩ්-19 ඉහළ) අවදානමක් පවතින රටක් ලෙස තවදුරටත් නම් කර තිබේ.

ඒ අනුව මෙම ගමනාන්තය (ශ්‍රී ලංකාව) වෙත යාමට පෙර ඇමෙරිකානුවන් විසින් ඔවුන්ව සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවට වග බලාගත යුතු බවත්, එන්නත් නොකළ සංචාරකයින් මෙම ගමනාන්තය වෙත අත්‍යවශ්‍ය නොවන ගමන්වලින් වැළකී සිටිය යුතු බවත් එම මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.

එහිදී, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ප්‍රධාන තොරතුරු කිහිපයක් CDC වෙතින් මෙසේ පෙළගස්වා ඇත.

  • ශ්‍රී ලංකාවට යාමට පෙර ඔබ එන්නත් කර ඇති බවට සහ ඔබේ කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින බවට සහතික කර ගන්න.
  • ඔබ කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීන නොවේ නම්, ශ්‍රී ලංකාවට ගමන් කිරීමෙන් වළකින්න.
  • ඔබ ඔබේ කොවිඩ්-19 එන්නත් සමඟ යාවත්කාලීනව සිටියත්, ඔබ තවමත් කොවිඩ්-19 ආසාදනය වීමට සහ රෝගය පැතිරවීමේ අවදානමට ලක් විය හැකිය.
  • වයස අවුරුදු 2 හෝ ඊට වැඩි ඕනෑම අයෙකු ගෘහස්ථ පොදු ස්ථානවල හොඳින් ගැලපෙන මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතුය.
  • ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන සියලුම අවශ්‍යතා සහ නිර්දේශද අනුගමනය කරන්න.

මේ අතර, ආසියානු කලාපයේ මැලේසියාව ඇතුළුව, සංචාරයන් සඳහා ඉතා ඉහළ අවදානම් (4 වැනි මට්ටමේ) ගමනාන්ත ලැයිස්තුවට තවත් රටවල් 4ක් ඇතුළත් කිරීමට රෝග පාලනය සහ වැළැක්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යස්ථාන කටයුතු කර තිබේ.

එහිදී, පසුගිය දින 28 තුළ පුරවැසියන් 100,000කට ආසාදිතයන් 500කට වඩා ලියාපදිංචි වූ විට CDC විසින් ඒ සෑම ගමනාන්තයක් "4 වැන් මට්ටමේ හෙවත්, කොවිඩ්-19 ඉතා ඉහළ" අවදානම් ස්ථානයේ තබයි.

වසංගතයට පෙර, මැලේසියාව සංචාරක උණුසුම් ස්ථානයක් වූ අතර, ආසියාවේ වෙනත් ගමනාන්ත මෙන්ම මැලේසියාවද සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සඳහා ඉතා ප්‍රවේශම්සහගත ප්‍රවේශයක් ගෙන ඇත. කෙසේ වෙතත්, මැලේසියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නවතම යාවත්කාලීනයට අනුව, එක්සත් ජනපද පුරවැසියන්ට තවමත් අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා එරටට පැමිණීමට අවසර නැත.

රෝග පාලනය සහ වැළැක්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යස්ථානය (CDC) විසින් පෙබරවාරි 22 වැනි දින 4 වැනි මට්ටමට එකතු කරන ලද ගමනාන්ත හතර වන්නේ,

• භූතානය,

• බෲනායි,

• ඉරානය,

• මැලේසියාව,

යන රාජ්‍යයන්ය. මෙම ගමනාන්ත හතරම පසුගිය සතියේ "3 වැනි මට්ටමේ, කොවිඩ්-19 ඉහළ" අවදානමේ පැවතුනි.

CDC හි ඉතා ඉහළ අවදානම් මට්ටම වන 4 වැනි මට්ටම, මේ වසරේ ලොව පුරා ඔමික්‍රෝන් ප්‍රභේදයේ විශාල පරාසයක් සහ ශීඝ්‍ර ව්‍යාප්තිය විදහා දක්වන ස්ථාන 140කට වඩා වැඩි ප්‍රමාණයකට වර්ධනය වී ඇති අතර, එය ජනවාරි මස මුලදී පැවතියේ ගමනාන්ත 80ක් පමණක් ලෙසිනි.



Recommended Articles