ඔමික්‍රොන් ඉහළ යෑම සමග ශ්‍රම වෙළෙඳ පොළ තුළ කඩාකප්පල්කාරී තත්ත්වයක් පෙන්නුම් කරමින් එක්සත් ජනපදයේ පුද්ගලික සමාගම් ජනවාරි මාසයේදී රැකියා 301,000ක් කප්පාදු කර ඇති බව එරට වැටුප් දත්ත සමාගමක් වන ස්වයංක්‍රීය දත්ත සැකසුම් (ADP) ආයතනය පවසයි.
"ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම සහ එහි තාවකාලික නමුත් සැලකිය යුතු බලපෑමක් හේතුවෙන් 2022 ආරම්භයේදී ශ්‍රම වෙළෙඳ පොළෙහි ප්‍රකෘතිය පියවරක් පසුපසට ගියා" යැයි ADP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නෙලා රිචඩ්සන් පවසා සිටියාය.
"කර්මාන්ත අංශවලින් බහුතරයක් රැකියා අහිමිවීම් අත්විඳ ඇති අතර, 2020 දෙසැම්බරයේ සිට මෑතකාලීන පහත වැටීම සනිටුහන් කරනවා" ඇය පැවසුවාය.
රිචඩ්සන් සඳහන් කළේ 2021 සිව්වැනි කාර්තුවේදී රැකියා 154,000ක අහිමිවීම් සමග විවේකී සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රය තුළද විශාලතම පසුබෑමක් දුටු බවයි.
මෙම වාර්තාවට අනුව, සේවා අංශයේ රැකියා 274,000ක් ජනවාරි මාසයේදී කපා හැර ඇති අතර භාණ්ඩ නිෂ්පාදන අංශයේ රැකියා 27,000ක් කපා හැර තිබේ.
එහිදී, විශාල සමාගම් කම්කරුවන් 98,000ක් කපා දැමූ අතර මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර 59,000ක්ද, කුඩා සමාගම් සේවකයන් 144,000ක් කපා දැමූ බව වාර්තාව පෙන්වා දෙයි. එහිදී විවිධ සමාගම් ප්‍රමාණයන් හරහා අසමතුලිත ප්‍රකෘතියක් පෙන්නුම් කරන බවද ඔවුන් පෙන්වා දෙයි.