ඩෙන්මාර්කය පුරා වේගයෙන් පැතිර ගිය ඔමික්‍රෝන් ප්‍රභේදයේ BA.2 උප ප්‍රභේදය, වඩාත් සුලභ BA.1 ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණය වන අතර, එය එන්නත් කළ පුද්ගලයන්ට පවා ආසාදන ඇති කළ හැකි බව ඩෙන්මාර්කයේ සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දෙසැම්බර් සහ ජනවාරි අතර කාලය තුළ ඩෙන්මාර්කයේ කුටුම්භ 8,500කට වඩා වැඩි සංඛ්‍යාවක කොරෝනා ආසාදන විශ්ලේෂණය කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූයේ BA.1 ආසාදනය වූවන්ට සාපේක්ෂව BA.2 උප ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගෙන් අනෙක් අයට ආසාදනය වීමේ සම්භාවිතාව දළ වශයෙන් 33%කින් වැඩි බවයි.
ඔමික්‍රෝන් හි මුල් BA.1 ප්‍රභේදය ලොව පුරා රෝගීන්ගෙන් 98%කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා දායක වේ, නමුත් එහි සමීප ඥාති සහෝදරයා වන BA.2 ඉක්මනින් ඩෙන්මාර්කයේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව ඇත්තේ, ජනවාරි දෙවැනි සතියේදී BA.1 බලයෙන් පහ කරමිනි.
"අපි නිගමනය කරන්නේ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට සහජයෙන්ම BA.1 ප්‍රභේදයටට වඩා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය කළ හැකි බවයි. එය ආසාදනයට එරෙහිව එන්නත් කිරීමේ ආරක්ෂිත බලපෑම තවදුරටත් අඩු කරන අතරම, ප්‍රතිශක්තිකරණය මගහැරීමේ ගුණයෙන් යුතුයි" අධ්‍යයනයේ පර්යේෂකයෝ පැවසූහ.
තවමත් සම-සමාලෝචනය කර නොමැති මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ ස්ටේටන්ස් සෙරම් ආයතනය (එස්එස්අයි), කෝපන්හේගන් විශ්ව විද්‍යාලය, ඩෙන්මාර්කයේ සංඛ්‍යාලේඛන ආයතනය සහ ඩෙන්මාර්කයේ කාර්මික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසිනි.
"ඔබ ඔබේ නිවස තුළ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට නිරාවරණය වී ඇත්නම්, දින හතක් ඇතුළත ඔබට ආසාදනය වීමේ සම්භාවිතාව 39%ක්. ඒ වෙනුවට ඔබ BA.1 ප්‍රභේදයට නිරාවරණය වී ඇත්නම්, සම්භාවිතාව 29%යි" ප්‍රධාන අධ්‍යයන කතුවරයා වන ෆෙඩ්රික් ෆ්ලීස්නර් රොයිටර් වෙත පැවසීය.
එයින් ඇඟවෙන්නේ BA.2 උප ප්‍රභේදය ආසාදනය BA.1 ප්‍රභේදයට වඩා 33%ක් පමණ වැඩි බවයි.
BA.2 උප ප්‍රභේදයේ ආසාදන එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ස්වීඩනය සහ නෝර්වේ යන රටවලද ලියාපදිංචි වී ඇත. නමුත් එය ඩෙන්මාර්කයට වඩා බෙහෙවින් අඩු ප්රමාණයකි. එරට එය දළ වශයෙන් 82%ක් පමණ වේ.
අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ BA.2 උප ප්‍රභේදය එන්නත් කරන ලද සහ බූස්ටර-එන්නත් කරන ලද පුද්ගලයින් ආසාදනය කිරීමේදී BA.1 ප්‍රභේදයට වඩා සාපේක්ෂව කාර්යක්ෂම බවයි. එම උප ප්‍රභේදයේ ප්‍රතිශක්තිකරණය මග හැරීමේ ගුණාංග වැඩි බව ඩෙන්මාර්කයේ මෙම අධ්‍යයනය පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, එන්නත් තවමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. ඒ අනුව, මෙම අධ්‍යයනය අවධාරණය කළේ, බූස්ටර-එන්නත් කරන ලද සහ සම්පූර්ණයෙන් එන්නත් කරන ලද පුද්ගලයින් යන දෙදෙනාම, එන්නත් නොකළ අයට වඩා සාපේක්ෂව ආසාදනය වීමට සහ සම්ප්‍රේෂණය කිරීමට අඩු කැමැත්තක් දක්වන බවයි.
එසේම BA.1 ප්‍රභේදයට සාපේක්ෂව BA.2 උප ප්‍රභේදය සඳහා රෝහල්ගත වීමේ අවදානමේ වෙනසක් නොමැති බවද අධ්‍යයනයේ මූලික විශ්ලේෂණය පෙන්වා දී ඇත.
මෙසේ ආසාදන වැඩිවන වටපිටාවක වසංගතයට එරෙහි සීමාවන්ට ජනතාවගෙන් එන විරෝධාකල්ප හමුවේ ඩෙන්මාර්කය තුළ ගෘහස්ත කොවිඩ්-19 සීමාවන් ඉවත් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේද විවේචනයට පසුගියදා බඳුන් විය. අවසන් මාධ්‍ය සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ ජයග්‍රහණය කලින්ම ප්‍රකාශ කිරීම හෝ සටන අත්හැරීම ජයග්‍රහණය නොවන බවයි. ඉක්මනින් වෙනස්වීමේ හැකියාවක් ඇති වෛරසයක් ගැන ඩෙන්මාර්කය ගනු ලැබී මෙම තීරණය වෙනත් රටවල් ආදර්ශයට ගැනීමේ අවදානම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉස්මතු කළේය.
"අපි කිසිම රටකට ඊනියා අගුලු දැමීමකට ආපසු යන ලෙස ඉල්ලා සිටින්නේ නැහැ. අපි සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ එන්නත් පමණක් නොවෙයි, දැනට ඇති මෙවලම් කට්ටලයේ ඇති සෑම මෙවලමක්ම භාවිත කරමින් තම ජනතාව ආරක්ෂා කරන ලෙසයි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නොම් ගෙබ්‍රයේසුස් අවධාරණය කළේය.