සියලු දෙනාම මුඛ ආවරණයක් පලඳින ලෙසත්, තමන්ද එය දැනටමත් පලඳින බවත් එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හි රිපබ්ලිකන් සෙනට් සභික මාකේ රුබියෝ ඉතා දැඩි ස්වරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් විසින් නව කොරෝනා වසංගතය පිළිබඳ යාවත්කාලීන කිරීම් ලබාදුන් හමුවක් අවසානයේදී රුබියෝ මෙසේ පවසා සිටියේය.
"සෑම කෙනෙකුම තමන්ව ආරක්ෂා කර ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. එය කරන්නේ කෙසේදැයි කියා අපට නැවත නැවතත් පවසා තියෙනවා. ඉතින් දැන්වත් එය කරන්න."
මෙම හමුව අතරතුර රිපබ්ලිකන් සගයන්ද මුඛ ආවරණ පැලඳීමට උනන්දු කළ බව රුබියෝ කියා සිටියේ, ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුඛ ආවරණ ප්‍රතික්ෂේප කිරීමම ඇමෙරිකාව තුළ වසංගතය පාලනය කිරීමේ දැඩි අර්බුදයක් ඇති කර තිබෙන පසුබිමකය.
"එය ශ්වසන වෛරසයක්. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙනවා. ඉතිං අනාරක්ෂිත පසුබිමකදී ඔබ සමග සම්බන්ධ වන පුද්ගලයන් වැඩි වශයෙන් ඔබට එය ආසාදනය කිරීමට පුළුවන්." රුබියෝ වැඩිදුරටත් සඳහන් කළේය.