එසෙක්ස් හිදී ලොරි රථයේ මියගිය සංක්‍රමණික දේහයන් වියට්නාමයට


එක්සත් රාජධානියේ ශීත කළ ලොරි රථයක තිබී හමුවූ මියගිය වියට්නාම ජාතිකයින් 16 දෙනෙකුගේ සිරුරු නැවත වියට්නාමය වෙත රැගෙන විත් තිබේ.

පසුගිය ඔක්තෝබර් 23දා මෙම ලොරි රථය හමුවන විට එහි සංක්‍රමණිකයන් 39 දෙනෙකුගේ සිරුරු හමුවිය. ඒ අතර, කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි 31 ක් සහ වයස අවුරුදු 15ක් වූ පිරිමි ළමයින් දෙදෙනෙකුගේද සිරුරු විය.

ලොරි රථයේ රියදුරු මොරිස් රොබින්සන් නීතිවිරෝධී සංක්‍රමණ සඳහා ආධාර කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවෙයි.

මෙම මළ සිරුරු වාණිජ ගුවන් යානයකින් හැනෝයි වෙත ගෙන යන ලද අතර ගිලන් රථයකින් ඔවුන්ගේ පවුල් නිවාස වෙත ගෙන යනු ලැබීය.

"අපි මේ මොහොත එනතුරු බොහෝ කාලයක් බලා සිටියා. ඔවුන්ගේ සිරුරු රැගෙන පැමිණි විගස අපි අවමංගල්‍ය කටයුතු සංවිධානය කරනවා" යැයි මියගිය අයෙකුගේ පියා වන වෝ වැන් බින්හ් පැවසීය.

 “මේ වේදනාව දරාගන්න හරිම අමාරුයි. ඒත් අවසානයේ මගේ පුතා නැවත පැමිණීම ගැන සතුටු වෙනවා” බව මියගිය අයෙකුගේ තවත් පියෙකු පවසා සිටියේය.

මේ අතර, දිනයක් සඳහන් නොවුණද අනෙකුත් අයගේ මළ සිරුරුද ඉදිරියේදී වියට්නාමය වෙත ගෙනඒමට කටයුතු යෙදෙන බව කියැවෙයි.



Recommended Articles