එන්නත් ලබාදීම සමග චීනය මහජන යහපතට කැපවෙයි


පරිත්‍යාග සහ සම නිෂ්පාදනය ඇතුළු විවිධ ක්‍රමවේදයන්ගෙන් සිය කොවිඩ්-19 මර්දන එන්නත ගෝලීය මහජන යහපතක් කිරීමට චීනය කැපවී සිටින බව පවසයි.

මේ ආකාරයෙන් චීනයේ කොවිඩ්-19 මර්දන එන්නත් තොග ලෝකය පුරා මේ වනවිට වේගයෙන් බෙදා හරිමින් තිබේ. ඒවා පරිත්‍යාගයන් ලෙස මෙන්ම, විවිධ රටවලින් ලැබුණු ඇණවුම් ලෙසද පවතී.

පසුගියදා පිලිපීනය වෙතද චීනයේ කොවිඩ්-19 එන්නත් තොගයක් ලැබුණේය. එහිදී අදහස් දැක්වූ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පවසා සිටියේ, "අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ උපකරණ පරිත්‍යාග කිරීම සහ කොවිඩ්-19 ප්‍රතිචාර දැක්වීමේ තාක්‍ෂණික සහයෝගය සැපයීම ඇතුළුව අතීතයේ සිටම ලබාදුන් විවිධ කොවිඩ්-19 ආධාර සඳහා චීනයට මාගේ බලවත් ස්තූතිය පුද කර සිටිනවා" යනුවෙනි.

බංග්ලාදේශයද චීනයේ සහයෝගිතා වැඩසටහනක් යටතේ එන්නත් මාත්‍රා මිලියන 5ක් මසකදී එරට තුළම නිපදවීමට හැකි වන ආකාරයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. ඒ අනුව බංග්ලාදේශ සමාගමක් වන ඉන්සෙප්ටා සමග සීනොෆාම් ඇති කරගත් සහයෝගයෙන් එන්නත් එරට තුළදීම සැකසෙනු ඇත.

"චීනයේ එකම අරමුණ වන්නේ එන්නත් ගෝලීය පොදු භාණ්ඩ බවට පත් කිරීම පමණයි. එය සැබවින්ම ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන අතර, වසංගතය ඉක්මනින්ම පරාජය කිරීමට ලෝකයට උපකාරී වෙනවා" යනුවෙන් බංග්ලාදේශයේ චීන තානාපති ලී ජිමින් පැවසීය.

මේ මස මුලදී චීන විදේශ ඇමති වැන්ග් යී කියා සිටියේ එන්නත නිෂ්පාදනය සමග අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ පළමු වැනි රට චීනය බවයි. "චීනයේ ජාත්‍යන්තර එන්නත් සහයෝගීතාව කිසිඳු ආර්ථික හෝ දේශපාලන අවශ්‍යතාවක් සමග කිසි දිනෙක සම්බන්ධ වී නැහැ" යනුවෙන් කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ ජාත්‍යන්තර සංසදයේ පළමු වැනි රැස්වීමේදී වැන්ග් පැවසීය. එම සංසදයේදීම ලිඛිතව ලියූ ලිපියකින් චීනය බිලියන 2ක එන්නත් ලබාදීමේ පොරොන්දුව ෂී ජින්පිං ජනාධිපතිවරයා විසින් ලබා දුන්නේය.

අධික දේශීය ඉල්ලුම මධ්‍යයේ චීනය කාර්යක්ෂම එන්නත් නිෂ්පාදන ධාරිතාවක් වර්ධනය කර නොතිබූ විට පවා, අවශ්‍යතා ඇති රටවලට එන්නත් ආධාර ලබාදීමට තවමත් උත්සාහ කිරීම ප්‍රශංසනීය කාරණයකි. සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් බෙදා හැරීම සඳහා වූ ගෝලීය එන්නත් ව්‍යාපෘතිය වන කොවැක්ස් සමග වැඩ කිරීමේදීද චීනය සක්‍රීය විය. චීනය වෙනුවෙන් ජනාධිපති ෂී මෙම පහසුකම සඳහා ඩොලර් මිලියන 100ක් ලබාදීමට පොරොන්දු වී තිබේ. එසේම මෙම ඔක්තෝම්බර් මාසය වන විට මාත්‍රා මිලියන 110ක් ලබාදීම සඳහා සීනොෆාම් සහ සීනොවැක් එන්නත් කොවැක්ස් සමග ගිවිසුම් ගත වී ඇති අතර, මේ මාසයේදී දැනටමත් පාකිස්ථානයට සහ බංග්ලාදේශයට බෙදාහැරීම් සිදුකර ඇත.



Recommended Articles