එන්නත් ප්‍රතික්ෂේප කිරීම ජොකොවික්ට හරහට හිටියි


ඔස්ට්‍රේලියාවේ තවදුරටත් රැඳී සිටිමින් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවට සහභාගි වීමට නොවැක් ජොකොවිස් කළ අභියාචනය එරට ෆෙඩරල් අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා වත්මන් ඔස්ට්‍රේලියානු විවෘත ශූරයා එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි වෙත පිටත්ව ගිය බව විදෙස් වාර්තා පවසයි.

එන්නත් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔස්ට්‍රේලියාව තුළ වසංගතයට එරෙහිව සෑම අයෙකුටම එකලෙස ක්‍රියාත්මක නීතියට පිටින් යෑමට එහිදී ලෝක ශූරයාටද අවස්ථාවක් නොමැති විය.

ඒ අනුව සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සඳහා සටන් කිරීමට අපොහොසත් වූ ජොකොවිච් ප්‍රකාශයක් නිකුත් කරමින් තම බලාපොරොත්තු සුන් වූ බව ප්‍රකාශ කළේය.

"අද උසාවි විභාගයේ ප්‍රතිඵල ආමන්ත්‍රණය කිරීමට මා කෙටි ප්‍රකාශයක් කිරීමට කැමැතියි. මෙයින් ඔබ්බට වැඩිදුර අදහස් දැක්වීමක් කරන්නේ නැහැ. දැන් මා විවේක ගැනීමට කාලය ගන්නවා" ජෝකොවික් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "මගේ වීසා බලපත්‍රය අවලංගු කළ අමාත්‍යවරයාගේ තීරණය පිළිබඳ අධිකරණ සමාලෝචනය සඳහා වූ මගේ අභියාචනය ප්‍රතික්ෂේප වීමේ අධිකරණ තීන්දුව ගැන මා අතිශයින් කලකිරෙනවා. එනම් මට ඔස්ට්‍රේලියාවේ රැඳී සිට ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියට සහභාගී විය නොහැකයි. කෙසේ වෙතත් මා අධිකරණ තීන්දුවට ගරු කරන අතර, මා ඊට සහයෝගයෙන් කටයුතු කරමින්, මා රටින් පිටව යනවා."

ඔස්ට්‍රේලියානු රජය සහ ජොකොවික් අතර නීතිමය සටන සතියකට වැඩි කාලයක් පවතින අතර සර්බියානු ටෙනිස් සුපිරි ක්‍රීඩකයාගේ වීසා බලපත්‍රය දෙවරක් අවලංගු කරන ලදී. ඔහු සිය පළමු අභියාචනය දිනාගත් නමුත් දෙවැනි අභියාචනය පරාජය විය.



Recommended Articles