කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් නොකළ ඔස්ට්‍රියානු පදිංචිකරුවන්ට නව සීමාවන් පනවා ඇති අතර, ඒ අනුව ඔවුන්ට නිවෙස් හැර යා හැක්කේ රාජකාරියට හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වැනි සීමිත හේතූන් මත පමණක් බව කියයි.
මෙම සීමාවන් මිලියන 2ක පමණ එන්නත් ලබා නොගත් අයට බලපානු ඇත. එය දළ වශයෙන් රටෙන් හතරෙන් එකක් පමණ වෙයි. ශීත කාලගුණයත් සමග ආසාදන වැඩිවීමක් සහ දැඩි සත්කාර ඒකකවල වැඩෙන ආතතිය සමග මෙම නව සීමාවන් පනවා ඇත.
ඔස්ට්‍රියාවේ චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ වසංගතය විසින් මෙම දුෂ්කර තීරණය ගැනීමට ඔවුන්ට බලකර සිටි බවයි.. "ඉලක්කය වන්නේ එන්නත් නොකළ සහ එන්නත් කළ අය අතර වගේම, එන්නත් නොකළ අය අතරත් සම්බන්ධතා අවම කිරීමයි." චාන්සලර්වරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙම නව සීමාවන් කඩ කළහොත් ඩොලර් 1,660ක් දක්වා දඩ මුදලකට යටත්වීමට සිදුවන අතර, සියලුම ස්ථානවලදී පුද්ගලයන්ගේ එන්නත් ලබාගත් තොරතුරු පරීක්ෂා කිරීම සිදුවනු ඇත.