වසංගතයෙන් ලෝකය මුදවා ගැනීමට එන්නත පමණක් ප්‍රමාණවත් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්රකාශිකාවක් වන මාග්‍රට් හැරිස් පැවසුවේ, කොවිඩ්-19 වලින් සම්පූර්ණයෙන් මිදීමට තවත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සිදුවන බවයි. විශේෂයෙන්ම මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම මෙන්ම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම තවදුරටත් පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
මේ තත්ත්වය වඩාත් ප්‍රකට කළ අවස්ථා ලෙස බ්‍රිතාන්‍යයේ සහ සිංගප්පූරුවේ උද්ගතව ඇති තත්ත්වයන් දැක්විය හැකිය. එක්සත් රාජධානියේ දෛනික ආසාදිතයන් 44,985ක් ගෙවීගිය දිනයේ හමුවී ඇති අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8,734,934 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 135කින් ඉහළ ගොස් සමස්ත අගය 139,461ක් වී ඇත. එමෙන්ම එක්සත් රාජධානිය තුළ කොවිඩ්-19 ආසාදිත රෝගීන් 8,238ක් රෝහල් ගතව සිටිති.
එරට ශාන්ත ඇන්ඩෘස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් රෙයිචර් අනතුරු ඇඟවූයේ ඉක්මණින් ක්‍රියා නොකළහොත් එක්සත් රාජධානිය යළිත් අගුලු දැමීමේ අවදානමට ලක්වෙමින් පවතින බවයි. ස්කයි නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු අනතුරු ඇඟවූයේ, එන්නතට පමණක් තනිවම ක්‍රියාත්මක විය නොහැකි අතර, වසංගතය මැඩපැවැත්වීම සඳහා වෙනත් ආරක්ෂක ක්‍රමවේද අවශ්‍ය බවයි.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 86%කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, 79%කට වැඩි පිරිසකට ඒ දෙකම ලැබී ඇති පසුබිමක මෙසේ යළිත් ආසාදන ඉහළ යමින් පවතී.