එක්සත් ජනපදය පූටින්ගේ පවුලට සම්බාධක පනවයි


යුක්රේනයේ බුචා ප්‍රදේශයේ සහ තවත් ප්‍රදේශ තුළ සිදුවයේ යැයි කියන සාහසික ක්‍රියා උපුටා දක්වමින් එක්සත් ජනපද රජය, රුසියාවට එරෙහිව නව සම්බාධක මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම සම්බාධක අතරට රුසියාවේ සමහර ඉහළ බැංකු, සමාගම් සහ රජයේ නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද ඇතුළත් වේ.

"එක්සත් ජනපදය, G7 රාජ්‍යයන් සහ යුරෝපා සංගමය සමග එක්ව යුක්රේනයේ බුචා ඇතුළු සෙසු ප්‍රදේශ තුළ සිදුවූ කුරිරුකම් වෙනුවෙන් පූටින් පාලනයට දැඩි සම්බාධක පනවනු ලබනවා. අපි මේ කුරිරුකම් පිළිබඳ තොරතුරු වැඩිදුරටත් එක්රැස් කරමින්, ඉට වගකිව යුත්තන්ට වගවීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකසනවා." ධවල මන්දිරය පැවසීය.

මෙම නවතම සම්බාධකවලට ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ දරුවන් සහ විදේශ ඇමති සර්ජි ලැව්රොව්ගේ බිරිඳ සහ දියණියද ඉලක්ක කර තිබේ. එසේම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය දරන නිසා, අගමැති මිහායිල් මිෂුස්ටින් සහ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව්ද සම්බාධකවලට යටත්වනු ඇති බව කියයි.



Recommended Articles