උතුරු දකුණු කොරියානු සාම මාවත සැකසෙමින් පවතින මේ කාලවකවානුවේදී උතුරු කොරියාවේ මෙතෙක් පැවති යුද මානසිකත්වයෙන් යුතු ප්‍රචාරක වැඩපිළිවෙළ යම් වෙනසකට බඳුන් වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
එකල උතුරු කොරියාවේ නගරයක් නගරයක් පාසා ප්‍රදර්ශනය කෙරුණු විශාල දැන්වීම් පුවරු සහ පෝස්ටර්වලින් දැක්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදය පරම හතුරෙකු ලෙසිනි.
එමෙන්ම, දකුණු කොරියාව සහ ජපානය ඇමෙරිකානු බළල් හස්තයකින් නැටවෙන පඹයන් ලෙස ඒවායෙන් නිරූපණය කෙරිණි.
නමුත්, මේ වනවිට උතුරු කොරියාවේ සංචාරය කරන පිරිස් පවසන්නේ එදා දුටු බැනර් සහ පෝස්ටර්වල ප්‍රබල වෙනසක් අද දැකිය හැකි බවයි.
ඒ වෙනුවට, රටේ ආර්ථිකය වර්ධනය පෙරට ගැනීම සහ උතුරු දකුණු කොරියානු සබඳතා යළි නැංවීම සම්බන්ධ බැනර් සහ පෝස්ටර්වලින් උතුරු කොරියානු නගර වැසී යමින් පවතී.
දැඩි පාලනයක් යටතේ මාධ්‍ය භාවිත වන උතුරු කොරියාවේ ප්‍රධාන පුවත්පත් පවා ඔවුන්ගේ භාෂා හැසිරවීම මෙන්ම, ගමන්මග වෙනස් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වයි.
මෑතකදී උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වූ සාකච්ඡාව මෙන්ම, උතුරු දකුණු නායකයන්ගේ මුණගැසීම ආදී රජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය වූ පසුබිමක උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග්-උන් ඇතුළු සමස්ත රටම ක්ෂණික හැරවුමක් සිදුකර ඇති බව විදෙස් විචාරකයන්ගේ අදහස වී තිබේ.